ඔයිල් පාම් සඳහා විද්‍යාත්මක පදනමින් තීරණයක් ලබා දෙන්නැයි කර්මාන්තකරුවෝ ඉල්ලයි

Palm Oil Discussion

පාම් ඔයිල් තහනම ඉවත් කිරීම සඳහා පවතින ප්‍රමාදය සම්බන්ධයෙන් සාක්ෂි පදනම් කරගත් තීරණ ගන්නා ලෙසත් නිශ්චිත ප්‍රදේශවල කුඩා පරිමාණ වගාවන්ට ඉඩ දෙන ලෙසත් ශ්‍රී ලංකා පාම් ඔයිල් කර්මාන්ත සංගමය (POIA) පසුගියදා කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ පැවති සමුළුවේදී මෙන්ම ගාල්ලේ Radisson Blu Resort හි පැවති ආසියාතික පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ පැවති සමුළුවේදී අවධාරණය කරයි.

POIA සභාපති ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මෙහිදී අවධාරණය කළේ පාම් ඔයිල් වල සැලකිය යුතු සමාජ ආර්ථික ප්‍රතිලාභ පවතින බවත් ගෝලීය ඉල්ලුමෙන් 40% සපයන ආසියාතික සැපයුමෙහි කොටස්කරුවෙකු වීමේ විභවතාවක් හිමිවී ඇති බවත් එම ආදායමෙන් සැලකිය යුතු කොටසක් කුඩා පරිමාණ වතුහිමියන්ට හිමිවිය හැකි පරිදි කර්මාන්තය ගොඩනැඟිය හැකි බවත්ය.

හෙක්ටයාර මිලියන 15 පමණ බිම් ප්‍රමාණයක් පුරා පාම් ඔයිල් වගාකොට ඇති මැලේසියාව මෙන්ම ඉන්දුනීසියාව අත්දැකීම් වැඩිවීමත් සමඟම තිරසර වගාප්‍රතිපත්තීන්ට අනුගත වෙමින් සිටී. එම ක්‍රම ශිල්ප හා අත්දැකීම් ශ්‍රී ලංකාව සඳහා නව සැලසුමක් සකසා ගැනීමේ මඟපෙන්වනු ඇතැයි ඒ මහතා අවධාරණය කරයි.

“ශ්‍රී ලංකාවේ අපි කතා කරන්නේ ආහාරයට ගත හැකි තෙල් සහ අපේ භූමියට සුදුසුම භෝග පිළිබඳවයි. අවාසනාවකට මේ රටේ තීන්දු තීරණ ගෙන තිබෙන්නේ හැඟීම් සහ මිථ්‍යාවන් පදනම් කරගෙනයි. ඒ නිසා තමයි අද අපි මේ තත්ත්වයට පත්වෙලා ඉන්නෙ” ආචාර්ය රොහාන් ප්‍රනාන්දු අවධාරණය කරයි.

“කුඩා වතු හිමියන් වෙත ෆාම් ඔයිල් හඳුන්වාදී ව්‍යාප්ත කළහොත් කම්කරු හිඟය ප්‍රග්ධන හිඟය වැනි කරුණු සඳහාත් හොඳ පිළියමක්. මැලේසියාවේ වගේම ඉන්දුනීසියාවේත් ආර්ථිකයේ මූලිකය සාධක පාම් ඔයිල්” ඒ මහතා මේ පිළිබඳව පැවසුවේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් න්‍යෂ්ටිය පදනම සහ සොලිඩරිඩෑඩ් ආයතන එක්ව සංවිධාන කරන ලද වැඩමුළුවක් අමතමිනි.

පසුගිය රජය විධිමත් අධ්‍යයනයකින් තොරව කඩිමුඩියේ ගත් තීරණයකට අනුව 2021වසරේ අප්‍රේල් මාසයේදී පාම් ඔයිල් වගාව තහනම් කිරීමට මෙන්ම දැනට කර ඇති වගාවන් ක්‍රමානුකූලව ඉවත් කිරීම ප්‍රකාශයට පත් කෙරිණි.

මෙහිදී අවධාරණය කෙරුණේ පාම් ඔයිල් වගාව සඳහා ඉහළ ජල අවශ්‍යතාවක් ඇති බවයි. ඒ හේතූන් මෙම වගාව අනෙකුත් භෝග නිෂ්පාදනය කෙරෙහි බලපෑම් ඇති කරන බවයි. කෙසේ වෙතත්, ජාත්‍යන්තර සිවිල් ආයතනයක් වන Solidaridad විසින් මෑතකදී කරන ලද පර්යේෂණ අධ්‍යයනයකට අනුව පොල් වගාවන් සඳහා ජල අවශ්‍යතාව 10,548 m³ ජලය ටොන් ලෙස පෙන්නුම් කර ඇති අතර, පාම් තෙල් සඳහා, එම අගය ජලය ටොන් 3,946 m³ වේ. මීට අමතරව, න්‍යෂ්ටිය පදනමේ පර්යේෂණයන් තහවුරු කරන්නේ ස්වයංපෝෂිතභාවය, කුඩා වතු හිමියන්ගේ සහභාගිත්වය සහ දේශීය කර්මාන්තයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාවක් ඉස්මතු කරමින් එළවළු තෙල් ආනයනය සඳහා ශ්‍රී ලංකාව වසරකට රුපියල් මිලියන 57ක් වැය කරන බවයි. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පසුගිය ජනවාරි මාසයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද විද්වත් කමිටු වාර්තාවක් මත පදනම්ව හඳුනාගත් මහවැලි සහ අනෙකුත් ප්‍රදේශවල පාම් ඔයිල් වගා කිරීමට අවසර දීමේ තීරණයක රජයේ අවධානය යොමුවී තිබේ. සීමිත ඉඩම් සහිත රටක, සෑම ඒකකයකම ඵලදායිතාව ප්‍රමුඛ වේ. පාම් ඔයිල් යනු අපේ රටට දිළිඳුකම තුරන් කිරීම සඳහා වඩාත් ඵලදායී, වඩාත්ම බහුකාර්ය සහ දිළිඳුකම තුරන් කරන භෝගයක් බව ගෝලීය අත්දැකීම් තහවුරු කරයි. ණය බර මෙන්ම ඩොලර් හිඟයෙන් බැටකන රටක් ලෙස ආනයන වියදම් අඩුකර අපනයන ආදායම් ඉහළ දැමීමට හැකි මාවතක් තවදුරටත් වසා තැබීම පිළිබඳව ආචාර්ය ප්‍රනාන්දු අවධාරණය කරයි.

POIAට අනුව, ශ්‍රී ලංකාවේ වර්තමාන පාම් ඔයිල් වගාව හෙක්ටයාර් 12,000 ක භූමි ප්‍රමාණයක පවතියි. එපමණක් නොව, ශ්‍රී ලංකාව පාම් ඔයිල් මෙට්‍රික්ටොන් 220,000ක් පරිභෝජනය කරන අතර එයින් දේශීයව නිෂ්පාදනය කරන්නේ සියයට 12ක් පමණි.

බුද්ධිකා බ්‍රාහ්මණගේ