පාම් ඔයිල් භාවිතය අපිට ඉතා පෝෂණීය මෙන්ම, ආර්ථිකමය වශයෙන්ද ඉතා ලභාදායකයි. නමුත් මිථ්‍යා මත නිසා කර්මාන්තයක් ලෙස එය තර්ජනයට ලක්වී ඇත. පාම් ඔයිල්වල මූලික ප්‍රභවය වන්නේ බටහිර හා නිරිතදිග අප්‍රිකාවේ වැඩෙන එලයිස් ගිනෙන්සිස් ගසයි යන විද්‍යාත්මක නමින් හැදින්වෙන ශාකයයි. ඔබ දන්නවාද එයින් පාම් තෙල් පරිභෝජයෙන් ඔබට ලැබෙන, ඔබ මෙතෙක් අසා නොමැති සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ඇති බව? විශේෂයෙන්ම පාම් ඔයිල් සිතීමේ හැකියාව වැඩි දියුණු කරන අතර මොළයේ ක්‍රියාකාරීත්වයට ඉතා යහපත් බලපෑමක් ඇති කරයි.
ශක්තිමත් ප්‍රතිඔක්සිකාරක ගුණ මෙන්ම ටොකෝට්රියෙනෝල්වල විශිෂ්ට විටමින් ප්‍රභවය පාම් තෙල් තුළ අඩංගු නිසා විටමින් ඌනතාවන් වළක්වා ගැනීම සඳහාද භාවිත කළ හැක. පර්යේෂණයන්ට අනුව මෙම සංඝටක බහු අසංතෘප්ත මේද බිඳවැටීමෙන් ආරක්ෂා කිරීමට, ආඝාතය වැනි තත්ත්වයන් ඇතිවීමේ අවදානම අඩු කිරීමටද, මස්තිෂ්කය ආශ්‍රිතව ඇතිවිය හැකි තුවාල වළක්වා ගැනීමට ද උපකාරී වෙනවා.
වර්තමානයේ පාම් තෙල් කියන්නේ ලෝකයේ වැඩියෙන්ම පරිභෝජනය කරන ආහාරයක්. නමුත් ජනප්‍රිය ඕනෑම දෙයකට මෙන්ම, පාම් තෙල් ද හොඳද නරකද යන්න පිළිබඳ විවාදයක් වර්තමානයේ දී ඇති වෙලා තියෙනවා. බොහෝ විවාදවලදී මෙන් මේ විවාදයට සහභාගිවන්නන් ද නිවැරදි සාධක සඳහා ලබාදෙන අවධානය ඉතා අඩුයි. ඔවුන් විසින්ම ගොඩනගාගත් ආකල්ප සහ පුහු හැඟීම් කෙරෙහි ඔවුන් විශාල අවධානයක් යොමුකර ඇත. නමුත් සත්‍ය වසන් කළ නොහැකි සේම යටපත් කළ නොහැකිය. මේ හේතුවෙන් අපේ රට තුළ පාම් තෙල් භාවිතය සම්බන්ධයෙන් පවතින මිථ්‍යාවන්ට එරෙහිව පොදු ජනතාවගේ මෙන්ම අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ අවධානය පිණිස එකී දුර්මත මෙසේ නිරවුල් කරන්නෙමු.
• පළමු මිථ්‍යාව
පාම් / රතු පොල් වගාව වනාන්තර විනාශයට හේතුවෙයි – ශ්‍රී ලංකාව තුළ කිසි විටෙකත් රතු පොල් වගාව නිසා වන විනාශයක් සිදුවී නැත.
ඇත්ත වශයෙන්ම පාම් ගස් (රතු පොල්) කියන්නේ බෝග මාරුව සඳහා සුදුසු විකල්ප භෝගයක් වන අතර, පවත්නා භෝගයක් එහි ආර්ථික ආයු කාලය සම්පූර්ණ කළ පසු ඒ භූමියේ විකල්ප භෝගයක් ලෙස ඉතා පහසුවෙන් පාම් වගාව / රතු පොල් යොදාගන්න පුළුවන්. වර්තමානයේ පාම් වගාව ඇත්තේ හෙක්ටයාර 12,000ක වැනි සුළු ප්‍රමාණයක වන අතර ලංකාවේ කෘෂිකාර්මික ඉඩම්වලින් 1.5%ක් (එය රටේ මුළු භූමියෙන් 0.0018) පමණ වන අතර, එසේ පවතින්නේ බොහෝ විට පැවති රබර් හෝ තේ වගාවන් වෙනුවටයි. මේ අනුව, පාම් / රතු පොල් වගාව වනාන්තර විනාශයකට දායක නොවන බව ඉතා පැහැදිලිය. මෙය ලංකාවේ තේ හෙක්ටයාර 202,000 ක්, රබර් හෙක්ටයාර 136,000 ක් සහ පොල් හෙක්ටයාර 440,000ක් සමග සසඳා බැලිය යුතු වේ. එමෙන්ම පොල් පර්යේෂණ ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම ගස්වල ආක්‍රමණශීලී නොවන බව සහතික කිරීම සඳහා වගාව දැඩි ලෙස නියාමනය කරනු ලබන අතර කිසිදු වන ඉඩමක් රතු පොල් වගාව සඳහා භාවිත කර නොමැත.
• දෙවැනි මිථ්‍යාව
පාම් ගස් / රතු පොල් වගාව භූගත ජලය විනාශ කරන අතර වර්ෂාපතනයට බලපායි – සම්පූර්ණයෙන්ම අසත්‍යයි.
පාම් වගාව / රතු පොල් වගාකර ඇති ප්‍රදේශවල එම වගාවන් නොමැති ප්‍රදේශවලට වඩා වැඩි වර්ෂාපතනයක් තිබෙන බවට බොහෝ සාක්ෂි තිබෙනවා. වර්ෂාපතනය ප්‍රධාන වශයෙන් මෝසම් වැසි හරහා පාලනය වන අතර තර්කය වන්නේ සුළු පරිසර පද්ධතීන් මගින් මෝසම් සහ අන්තර් මෝසම් වැසිවලට බලපෑම් කළ හැකි බවයි. නමුත් පාම් / රතු පොල් වගාවේ හෙක්ටයාර 12,000ක් වැනි කුඩා ප්‍රමාණයක් නිසා එසේ හඳුන්වන්න බැහැ. තවද, වසර 50කට වැඩි කාලයක් මෙරට ගාල්ල ප්‍රදේශයේ සහ මැලේසියාවේ ඉන්දුනීසියාවේ බොහෝ ප්‍රදේශවල වසර 100කට වැඩි කාලයක් තිස්සේ මෙම භෝගය වගාකර ඇති අතර, මෙම භෝග වගාව ආශ්‍රිතව කිසිදු ජල හිඟයක් වාර්තා වී නොමැත.
අප මෙය සංඛ්‍යා දත්ත ආශ්‍රයෙන් විමසීමේදී දෛනිකව රබර් හෙක්ටයාර එකකින් ආසන්න වශයෙන් ලීටර 31,500ක උත්ස්වේදයක් සිදුකරන අතර, එවැනිම ප්‍රමාණයක ඇති පාම්/ රතු පොල් ගස් මගින් සිදුවන්නේ ආසන්න වශයෙන් ලීටර 34,680ක පමණ ප්‍රමාණයකි. එය සාපේක්ෂව කුඩා වෙනසක්. විශේෂයෙන් රබර් හා සසඳන විට හෙක්ටයාරයකට සිටුවන පාම් ගස් ප්‍රමාණය රබර්වලට වඩා අඩු වේ. එයද සාමාන්‍ය වශයෙන් මිලිමීටර් 3,500ක වර්ෂාපතනයක් ඇති ප්‍රදේශවල පමණක් වන අතර භෝග මගින් වාෂ්ප උත්ප්‍රේරණය වන්නේ වසරකට මිලිමීටර් 1,300 දක්වා පමණයි.
• තුන්වැනි මිථ්‍යාව
පාම් ඔයිල් සංතෘප්ත මේදයෙන් පිරී ඇති නිසා සෞඛ්‍යසම්පන්න නොවේ – මෙය සත්‍යයක් නොවේ
පාම් ඔයිල්වල 50%ක් සංතෘප්ත මේදය අඩංගු වෙනවා. කෙසේ වෙතත් පොල්තෙල් ඇතුළු පොදුවේ භාවිත වන ආහාරයට ගත හැකි තෙල් සමග සසඳන විට එය අඩු ප්‍රමාණයක්. යථාර්ථය නම් පාම් තෙල් සාමාන්‍යයෙන් සෞඛ්‍යසම්පන්න මේද ප්‍රභවයක් වන අතර එහි මොනෝ අසංතෘප්ත මේද හා බහු අසංතෘප්ත මේද, එනම් ‘හොඳ මේදය’ අඩංගු වන අතර ඉහළ සාන්ද්‍රණයකින් යුත් කැරොටිනොයිඩ් හා විටමින් වැනි දෑද අඩංගු වෙනවා.
එය මෑත කාලයේ කුප්‍රකට ඇෆ්ලාටොක්සින් මගින් දූෂණය වී නැහැ. ඊට අමතරව එය අධික උෂ්ණත්වවලදී එහි රසායනික ව්‍යුහය පවත්වා ගන්නා අතර එය ආහාර පිසීම, බේක් කිරීමට සහ ගැඹුරු තෙලේ බැදීම් වැනි විවිධ අහර පිසගැනීමේ ක්‍රම සඳහා උචිත වේ.
පාම් තෙල් වෙළෙඳපොළ, ලෝක වෙළෙඳපොළ තුළ වසර ගණනාවක් පුරා ස්ථාවර වේගයකින් වර්ධනය වෙමින් පවතිනවා. එමෙන්ම පාම් තෙල් ආහාරයට ගත හැකි තෙල් වෙළෙඳපොළෙන් 65%ක වර්තමාන ගෝලීය වෙළෙඳපළ කොටසකට හිමිකම් කියනවා. පාම් ඔයිල් සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා නම් ඒවායේ භාවිතය මෙතරම් ඉහළ නොයන බව අපට එකඟ වෙන්න පුළුවන් කාරණයක්.
• සිවුවැනි මිථ්‍යාව
පාම් ඔයිල් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තිරසාර දායකත්වයක් දක්වන්නේ නැහැ – මෙය අසත්‍යයක්
ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ගත් කල, පාම් ගස් කියන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ආර්ථිකමය වශයෙන් ඉහළ මට්ටමක් අපේක්ෂාවෙන් වගා කළ හැකි භෝගය වන අතර අනෙකුත් භෝග හා සසඳන විට හෙක්ටයාරයකට ආයෝජනය කිරීමෙන් ඉහළම ප්‍රතිලාභ ලබාගන්න පුළුවන්. ප්‍රාග්ධන නිර්මාණය කිරීම, වටිනාකම් දාමයන් ගොඩනැඟීම සහ දුප්පත් කම තුරන්කිරීමේ හැකියාවක් පාම් / රතු පොල් වගාවට පවතිනවා.
ගෘහස්ථව ආහාරයට ගත හැකි තෙල් සඳහා ඉල්ලුම කොටස් දෙකකින් පැමිණෙනවා. ඒ ගෘහස්ථ පරිභෝජනයන් සහ කර්මාන්ත වශයෙන්. එහි වාර්ෂික පාරිභෝගික ඉල්ලුම මෙට්‍රික් ටොන් 96,249ක් පමණ වන අතර කාර්මික ඉල්ලුම මෙට්‍රික් ටොන් 167,372ක් පමණ වෙන්න පුළුවන්.
ඒ සමග, පොල් තෙල් සහ පාම් තෙල් ආහාරයට ගත හැකි තෙල් වර්ග ලෙස මෙට්‍රික් ටොන් 156,108ක් මෙරටට සැපයීමට අපේක්ෂා කරන්න පුළුවන් අතර තෙල් මෙට්‍රික් ටොන් 107,513ක හිඟයක් ද ඉතිරිව පවතිනවා. ඒවා ආනයනය කිරීමට හෝ දේශීයව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වෙනවා.
මේ සියල්ලටම වඩා ගෝලීය පාම් තෙල් පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 75.45ක් වන අතර එය තව දුරටත් වර්ධනය වෙමින් පවතිනවා. එය ආහාරයට ගතහැකි තෙල් අතර ඉහළම අගයයි. සෝයා බෝංචි තෙල් මෙට්‍රික් ටොන් 60ක පරිභෝජනයෙන් දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, පොල් තෙල් පරිභෝජනය කරනු ලබන්නේ මෙට්‍රික් ටොන් 3.67ක ප්‍රමාණයකි.
• පස්වැනි මිථ්‍යාව
පාම් තෙල් වගාව ගොවීන්ගේ ජීවනෝපායන් විනාශ කරයි – කිසිසේත්ම නැහැ.
පාම් තෙල් ගොවීන් මසකට සාමාන්‍යයෙන් රුපියල් 65,000ක් පමණ උපයනවා. තේ සහ රබර් වතුවල සාමාන්‍යයෙන් එම ඉපයීමේ අගය රුපියල් 30,000ත් 35,000ත් අතර වේ. එසේ නම් පාම් තෙල් කර්මාන්තය ගොවීන්ගේ ජීවිතවලට විනාශකාරී වන්නේ කෙසේද? ශ්‍රී ලංකාවේ ශ්‍රම හිඟය පියවා ගැනීම සඳහා පාම් තෙල් වගාව යහපත් විසඳුමක්.
සමහරු චෝදනා කරන්නේ පාම් තෙල් වගාව තුළ ළමා ශ්‍රමය භාවිත කරන බවයි. මෙය පාම් තෙල් වගාවන්ට පමණක් නොවෙයි, ශ්‍රී ලංකාවේ සියලුම වතු වගාවන් සම්බන්ධයෙන් අසත්‍යයක්. එවැනි කිසිදු ක්‍රියාවක් මෙරට සිදුවන්නේ නැහැ.
පාම් තෙල් කියන්නේ ආහාරයට ගත හැකි තෙල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ජාතියක් ලෙස විශ්වාසය තැබිය හැකි ඉහළම තිරසාර ඉහළ ආර්ථික පද්ධතියක්. ඒ වගේම ග්‍රාමීය ප්‍රජාවන්ට සමාජ හා ආර්ථික අභිවෘද්ධිය සඳහා අවස්ථා ලබාදීමටත් වැදගත් වන වටිනා කර්මාන්තයක්.
වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ
පසුගිය 2018 යහපාලන රජය සමයේ කටුපොල් වගාවට එල්ලවූ මහජන විරෝධතාවන් නිසා මෙය තහනමට ලක්කෙරුණා. එයට ප්‍රධාන හේතුව වුණේ ජල උල්පත් සිඳී ගොස් පරිසර හානියක් සිදුවනවා කියන කාරණයයි. කටුපොල් වගාව තහනම් කිරීමට අදාළ ගැසට්ටුව නිකුත් වූණේ 2020 වසරේ. එහෙත් මේ කටුපොල් වගාව මහවැලි කලාපයේ හිස් ඉඩම්වල වගා කිරීමට අවසර ලබාදීම පිළිබඳ මේ වන විට සාකච්ඡා පවත්වමින් යනවා.
පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂිකා සනාතනී රණසිංහ
පාම් ඔයිල් වගාවන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට අමාත්‍ය මට්ටමෙන් කොමිටියක් පත් කර තිබෙනවා. පොල් පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ද එම කොමිටියට අයත් වෙනවා. කටුපොල් වගා කළ යුතු, වගා නොකළ යුතු ස්ථාන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කර තියෙනවා. කොමිටි වාර්තාව අනුව දැනට ලංකාවේ නිෂ්පාදනය වන පාම් ඔයිල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 20,000ක් පමණ වෙනවා. මේ පිළිබඳ විද්‍යාත්මකව කරුණු සොයා බලමින් නිර්ණායක ලබා දීමට කටයුතු කර තිබෙනවා.
මධ්‍යම පරිසර අධිකාරියේ පර්යේෂණ සහ සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන
කටුපොල් වගාව තහනම් කිරීමට අදාළව කිසිම දිනෙක පරිසර අධිකාරිය ඇමති මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කර නැහැ. කටුපොල් වගාව පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරිය මට්ටමෙන් ක්‍රියාත්මක වන්නේත් නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය එම වගාවන්ට විරෝධතාවක් දක්වන්නෙත් නැහැ. පරිසර හානියක් නොවන පරිදි කටුපොල් වගාව සිදු කිරීමට අදාළ ස්ථාන තෝරා ගත යුතුයි. පාරිසරික හානි සිදුවුවහොත් පමණක් මධ්‍යම පරිසර අධිකාරිය මැදිහත්ව කටයුතු කරනවා. කටුපොල් වගාව පමණක් නොව වෙනත් වගාවකදී වුවද පරිසර හානියක් සිදු වන්නේ නම් ඊට මැදිහත් වීම අධිකාරියේ වගකීමක්. ඒවා තීරණය වන්නේ කටුපොල් වගාව සිදු කරන ස්ථාන හා ක්‍රමවේදයන් අනුවයි.
වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා
ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව විද්‍යාත්මකව සොයා බලා කරපු වගාවක්. ඒක රටට පාඩුවක් ගෙන දෙන එකක් නොවේ. පාම් ඔයිල් මෙරට දේශීය නිෂ්පාදනවලට විශාල වශයෙන් යොදා ගන්න අමුද්‍රව්‍යයක්. එම වගාවන් නිසි ආකාරයෙන් සිදු කළහොත් එමඟින් පරිසරයට හානි සිදු වන්නේ නැහැ. බිල්ලෙක් මවා පාලා මේ පිළිබඳ අනිසි බියක් ඇති කරල තියෙනවා. ඉන්දියාව,මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල් ඔයිල් පාම් වගාවන් ඉතා සාර්ථකව සිදු කරමින් දියුණුව ළඟා කරගෙන තියෙනවා. මෙරට වගා නොකරන ලද ඉඩම් තෝරාගෙන ඔයිල් පාම් ව්‍යාප්ත කරන්නේ නම් වඩාත් හොඳ ආදායම් ලබා ගන්න පුළුවන්. රටේ ආර්ථිකයට ඒ හරහා සාධනීය බලපෑමක් ඇති කර ගැනීමටද රුකුලක් වෙනවා.
පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති ආචාර්ය රොහාන් ප්‍රනාන්දු
රටේ පාම් ඔයිල් වගාව තහනම් කරලා මෙට්‍රික් ටොන් 200,000ක් මේ රටට ආනයනය කරනවා. එය විශාල ආර්ථික හානියක්. ඔයිල් පාම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සෘජුව හා වක්‍රව ලබාදෙන දායකත්වය රු. බිලියන 11කට අධිකයි. මින් 60%ක් ඔයිල් පාම් වගාවෙන්ද, 40%ක් තෙල් නිස්සාරණයෙන්ද ලබා දෙනවා. පාම් වගාවෙන් හා තෙල් නිස්සාරණයෙන් රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙනවා. ඒවගේම පාම් ඔයිල් පිරිපහදු කිරීම, බේකරි සහ රසකැවිලි කර්මාන්තය ආශ්‍රිත මිලියන 02කට අධික සේවකයින් පිරිසකගේ ජීවනෝපාය සඳහා පාම් ඔයිල් කර්මාන්තය දායකත්වයක් සපයමින් සිටිනවා. වගාව ගත් කල ඔයිල් පාම් වගාවේ නියැලෙන සේවකයෙකු රබර් සහ තේ වගාවල නියැලෙන සේවකයෙකුට වඩා වාර්ෂිකව රු 40,000ත් රු. 75,000ත් අතර ඉහළ වැටුපකට හිමිකම් කියනවා. ඒ අනුව ඔයිල් පාම් කර්මාන්තය ඉහළ ආදායම් ලබන සේවක පිරිසක් බිහිකිරීමට සමත්ව ඇති බව සඳහන් කල හැකියි. ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය පිළිබඳව කතා කිරීමේදී වාර්ෂිකව මෙට්‍රික් ටොන් 25,000ක් පමණ දේශීයව නිෂ්පාදනය කරමින් වසරකට ආනයන ආදේශනය ඔස්සේ ඇමරිකානු ඩොලර් මිලියන මිලියන 27ක් පමණ රටට ඉතිරි කර දෙන සුවිශේෂී දේශීය කර්මාන්තයක් වී තිබෙනවා.
විශේෂයෙන්ම දේශීයව නිෂ්පාදනය කරන පාම් තෙල් ප්‍රමාණය ආනයනය කිරීමට සිදුවුවහොත් ඒ සඳහා වසරකට ඇ.ඩො. මිලියන 32ක් 44ක් ප්‍රමාණයක් වැය කිරීමට සිදු වනවා. එය රටක් ලෙස පවතින තත්වයන් තුළ කිසිසේත්ම දැරිය හැකි වියදමක් නොවෙයි. ඒ වගේම වැවිලි සහ නිස්සාරණ ක්ෂේත්‍රය තුළින් මේ කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සෘජුව හා වක්‍රව රු. බිලියන 11කට වැඩි දායකත්වයක් සපයනු ලබනවා. රටේ දේශීය කර්මාන්තකරුවන් සහ ආයෝජකයින් ආරක්ෂා කර ගනිමින් ඩොලර් සංචිත සුරක්ෂිතතාව ඉහළ නංවා ගැනීමට මේ කර්මාන්තය ලබා දෙන දායකත්වය පිළිබඳ සැබෑ කරුණු හෙළිකර මෙමගින් රටට ප්‍රතිලාභ අත්කර දිය යුතුව තිබෙනවා.
රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය අරුණ කුමාර
ලංකාව කියන්නේ කුඩා රටක්, මේකෙ තේ, රබර් සහ පොල් සාර්ථක වානිජ වගාවක් විදිහට කරගෙන යනවා. ඒ අතර කටුපොල් වගාවටත් විහේෂ තැනක් හිමිවෙලා තිබෙනවා. කටුපොල් වගාව සම්බන්ධයෙන් තියෙන විවේචන අපි වෙන් වෙන්ව අරගෙන ඒවාගේ තියෙන සත්‍ය අසත්‍යතාවය අපි විමසා බැලිය යුතුයි. විශේෂයෙන් කටුපොල් වගාව නිසා දිය උල්පත් සිඳීයන බවට මතයක් පළවුනා. ලංකාවේ මේ වෙනකොට කටුපොල් වගා කර ඇත්තේ හෙක්ටයාර් 12,000ක විතරයි. කටුපොල් වගාවේ දෙවැනි තැන ගන්නා මැලේසියාව වගේ රටවල්වල හෙක්ටයාර ලක්ෂ 60ක විතර කටුපොල් වගාකර තිබෙනවා. කටුපොල් වගාව හින්දා මැලේසියාව කාන්තාරයක් වුනාද කියල කටුපොල් වගාව සම්බන්ධයෙන් දුර්මත ප්‍රචාරය කරන අයගෙන් අහන්න ඕන. ලංකාවේ කටුපොල් වගාව ආරම්භ කරන්නේ වසර 20කට විතර ඉස්සර තමයි නාකියාදෙනිය වතුයාය ආශ්‍රයකරගෙන ආරම්භකරල තියෙන්නෙ. මේ බෝගය නිසා මේ ප්‍රදේශයේ එකම දිය ඇල්ලක්වත් හිඳිල නෑ. ආර්ථික වශයෙන් බලනකොට දළ ජාතික නිෂ්පාදනයට සමස්ත කෘෂිකර්මාන්තයේ දායකත්වය 8.3%ක් වෙනවා.නමුත් මැලේසියාවේ කෘෂිකර්මාාන්තයට කටුපොල් වගාවේ දායකත්වය 8.6% ඉක්මවා තියෙනවා. මැලේසියාව කියන්නේ කෘෂිකාර්මික රටක්. ඒත් ඒ වගේ රටකත් කටුපොල් වලින් ලබාගෙන තිබෙන වාසිය සහ සාර්ථකත්වය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළයුතු වෙනවා.
කටුපොල් වගාව තහනම් කළයුතුයි කියන අය කටුපොල් ආශ්‍රිත පොල් හා මේද මෙරටට ගෙනඒම මත තහනම් කළයුතුයි. අපි 2020 වසරෙදි පාම් ඔයිල් ආනයනය කරන්න රුපියල් මිලියන 37ක් වියදම් කරල තිබෙනවා. මේ වසරෙදිම රසායනික පොහොර ආනයනය කරන්න අපිට වැයවෙලා තියෙන්නේ රුපියල් බිලියන 36ක්. කටුපොල් නිෂ්පාදනයට ආනයන ව්‍යාපාර මාෆියාවකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ අය තමයි අපේ රටේ කටුපොල් වගාව පිළිබඳ බිල්ලො මවල ඒ වගාව කඩාකප්පල් කරන්න කටයුතු කරන්නෙ. කටුපොල් වගාව අපේ රටේ ව්‍යාප්ත කළොත් කටුපොල් ආනයනයට වැයවෙන අති විශාල ධනස්කන්ධයක් ඉතිරි කරගැනීමේ හැකියාවත් අපිට තියෙනවා.
කුඩා පරිමාණ පාම් වගාකරු සමන්ත කහටපිටිය
ඇත්තටම මං මේ වගා කරල තියෙන්නේ රජයේ බදු ඉඩම්වල. මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු අනෙකුත් අංශවලින් අපට ගොඩක් සහයෝගය ලැබුණා. 2016 වසරේ ආරම්භ කරපු මගේ වගාව ඉතා හොඳ අස්වැන්නක් ලබාදෙන වගාවක් බවට පත්වෙලා තියෙනවා. වෙනත් ව්‍යාපාරයක නියැළී සිටි මම ලාභදායී වැවිලි භෝග පිළිබඳ සොයා බලද්දී තමයි ඔයිල් පාම් වගාවට යොමුවෙන්න හැකි වුණේ. අපි ඉන්දුනීසියාවේ පවා ගිහිල්ලා තොරතුරු හොයලා තමයි මේ වගාව පටන් ගත්තේ. මේ පළාත්වල සමහර දේශපාලනඥයෝ තමන්ගේ දේශපාලන වුවමනාවන් පිරිමහගන්න, රටේ ඩොලර් ඉතුරු කරන, අපිටත් ඉතා හොඳ ආර්ථික ශක්තියක් දෙන මේ භෝගය තහනම් කරවන්න කටයුතු කළා. නමුත් මගේ වත්තට ඇවිල්ලා බලන්න වතුර නැද්ද, තෙතමනය නැද්ද කියලා. තේ ඉඩම්වලට වඩා හොඳ තෙතමනයක් පාම් ඔයිල් ඉඩම්වල තියෙනවා. මේක හරිහමන් විදියට කරගෙන යන්න දෙනවා නම් මේ රටට කොයිතරම් නම් සම්පතක්ද?