පාම් වගාවේ තහනමට හේතුව රටේ අහේතුවද ?

සාමාන්‍යයෙන් ඔබ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කොළඹ – ගාල්ල තීරුවේ ගමන් කරන කෙනෙක් ද? එහෙනම් ඒ මඟ දෙපස තැනින් තැන තිබෙන පාම් ගස් වගාවන් ඕනෑ තරම් දැක ගන්න ඇති. මොකද ඒ ප්‍රදේශ වල මේ වෙද්දී ඉතාම ජනප්‍රිය වගාවක් බවට පාම් වගාව සමත් වෙලා තිබෙනවා. ඒ වගේම පහුගිය කාල වකවානුව තුළ මෙරට දැඩි ආන්දෝලනයක් ඇති වීමටද හේතු වුණේත් ඒ වගාවමයි. පාම් ගස් වගාව, එහෙමත් නැත්නම් රතු පොල් වගාව හා එයින් ලබා ගන්නා පාම් තෙල් සම්බන්ධයෙන් කාලයෙන් කාලයට අපේ රටේ විවාදාත්මක කාරණා කරළියට එනවා. නමුත් ඒ පසුපස තිබෙන වටිනා මිනිස් ශ්‍රමය පිළිබඳව ඒ තරමට අවධානයක් යොමු නොවීම කණගාටුවට කාරණයක්.

එම නිසා විවිධ අභියෝගයන් මධ්‍යයේ වුණත් දශක පහකට අධික කාලයක් පුරා මෙරට ස්ථාපිත වී තිබෙන පාම් වගාවේ කවුරුවත් වැඩිපුර කතා නොකරන පැත්තක් පිළිබඳව අවධානය යොමු කරන්න අපි හිතුවා. ඒ, වර්තමානයේදී ජීවන කර්මාන්තයක් ලෙස මෙරට ජනතාවගේ ජන ජීවිතයට පාම් වගා ව්‍යාපාරයේ කෙසේ බලපා ඇති දැයි සම්බන්ධයෙන් අපි තොරතුරු විමර්ශනය කිරීමටයි. ඒ අනුව, දශක දෙකකට අධික කාලයක පටන් පාම් ගස් වගාවේ නියැළෙන ගොවි මහතෙක් වගේම සාර්ථක ව්‍යපාරිකයෙක් වුණු නෑබඩ ප්‍රදේශයේ ජීවත් වෙන සම්පත් කුමාර කහඳපිටිය මහතාව අපිට හමු වුණා. ඔහු තමන්ගේ " SKK Palm Tree Plantation " ආයතනයේ අධ්‍යක්ෂක වශයෙන් ද කටයුතු කරනවා.

ප්‍රථමයෙන්ම අපිත් සමඟ ඔහුගේ අත්දැකීම් බෙදා ගත්තේ මේ ආකාරයෙනුයි.

" මම ප්‍රධාන වශයෙන්ම මගේ වගාවන් සම්බන්ධ ව්‍යාපාරික කටයුතු කරන්නේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්රදේශය තවයි. ඇත්තටම මේ වගාවට මම මුලින්ම යොමු වුණේ 1990 දශකයේදීයි. මගේ පවුලේ මමයි බිරිඳයි පුතුන් දෙදෙනායි ඉන්නේ. ඉතින් එදා ඉඳන් අද වෙනකල් අපේ ජීවිත ටිකෙන් ටික ගොඩනඟන්න, ආර්ථිකමය අංශයෙන් උසස් තත්ත්වයක් කරා ළඟා වීමට අපිට උදව් වුණේ මේ පාම් වගා ව්‍යාපාරික. අපේ ජීවිත වල පෞද්ගලික සුබ සිද්ධිය සඳහා පමණක් ම නෙමෙයි, මේ රටේ ජීවත්වෙන වගාවන් පවත්වාගෙන යන ගොවි ජනතාවට ඔවුන්ගේ අඩු ආදායම් ජීවන තත්ත්වයෙන් මිදිලා ආර්ථිකමය වශයෙන් යහපත් ජීවන මට්ටමයක් උදා කරගන්නටත් මේ පාම් වගාව ලොකු රුකුළක් වෙලා තිබෙනවා. මගේ ව්‍යාපාරය හරහා ද ඒ වගේ බොහෝ අහිංසක අසරණ මිනිස්සුන්ට රැකියා උත්පාදනය කර දීමට පුළුවන් වීමත් මට විශාල තෘප්තියක් වුණා. මගේ පවුලට, මගේ ගමට විතරක් නෙමෙයි මගේ රටේ ජාතික ආර්ථිකයටත් විශාල විනිමය ප්‍රමාණ මාණයක් මෙම පාම් ගස් වගාව හරහා ගලා එනවා."

මෙතනදී ඔහු මතු කළේ සුවිශේෂී කාරණාවක්. එනම් අපේ රටේ පාම් වගාවේ නියැලෙන සාමාන්ය ගොවි ජනතාවට වගේම රටේ ආර්ථිකයටත් මේ හරහා ලැබෙන ප්රතිලාභ පිළිබඳවයි. ඒ අනුව තව දුරටත් අපි ඔහුගේ ඒ ගැන විමසුවා.

" ඔව්. ගොඩක් අය නොදන්නවා වුණාට අපේ රටේ ගොවි ප්‍රජාවට විශාල මූල්‍යමය ප්‍රතිලාභයක් සහ රටේ ජාතික ආර්ථිකයට ද ඊටත් වඩා ලොකු දායකත්වයක් පාම් වගාව හරහා හිමි වෙනවා. පාම් ඔයිල් කියන්නේත් ආහාරයට ගන්න පුලුවන් තෙල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්වයං විශ්වාසය තබන්න පුලුවන් ඉහළම තිරසාර වගා ක්‍රමයක්. විශේෂයෙන්ම පාම් තෙල් ගොවීන් මසකට සාමාන්‍යයෙන් රුපියල් 65,000 ක් පමණ උපයනවා. තේ සහ රබර් වතු වලින් ලැබෙන්නේ සාමාන්‍යයෙන් රුපියල් 30,000 ත් 35,000 ත් අතර ප්‍රමාණයක් පමණයි. එහෙනම් පාම් තෙල් කර්මාන්තය ගොවීන්ගේ ජීවිතවලට විනාශකාරී වෙන්නේ කොහොමද කියලා අපිට චෝදනා කර අයගෙන් මම අහන්න කැමතියි. "

ඔහු තවදුරටත් මෙසේ පැවසුවා.

" පර්යේෂකයන් පෙන්වා දෙන විදිහට පාම් ගස් වගා හෙක්ටයාරයකින් ශුද්ධ ආදායම වසරකට රු. 612,000 යි. නමුත් පොල් වගාවෙන් රු. 175,000 යි, තේ වගාවෙන් රු. 88,000 යි සහ රබර් වගාවෙන් රු. 80,000 යි . ඒ ලැබෙන ශුද්ධ ආදායම සලකනකොට පාම් ගස් වගාව වර්තමානය වෙද්දී ඉතාම හොඳ ආයෝජනයක් බවට නිරායාසයෙන් ම පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මෙරටට ආනයනය කරන පාම් ඔයිල්ප්‍රමාණය මාණය අඩු කරවන්න සුදුසු ඉතා හොඳ ආනයන ආදේශකයක් විදිහට මෙරටදීම පාම් වගාවන් සිදු කිරීම හඳුන්වාදෙන්න පුළුවන්.

ඊළඟට අපි ඔහුගෙන් විමසුවේ ගොවීන් මේ වගාවට යොමු වීමට තරම් පාම් ගස් වගා කිරීමේදී අනෙක් වගාවන්ට වඩා ගොවීන්ට තිබෙන පහසුකම් සහ සුවිශේෂීකම් මොනවාද කියලායි.

" පාම් ගසට කරන්න ඕනි සාත්තුව අඩුයි. මේ ගස් හැදෙනකොට ගස් යට හැදෙන යටිරෝපණය අඩු නිසා වල් මර්දනය වගේ දේවල් ගැන ලොකු අවධානයක් යොමු කරන්නට අවශ්‍ය නැහැ. වෙනත් වගාවන්ට වඩා පහසුවෙන් වගාකරන්න පුළුවන් නිසා මිනිසුන් කිහිප දෙනෙක්ට අක්කර විස්සක තිහක වුණත් වගාවක් නඩත්තු කරන්නට පුළුවන්. මේ ගසට කෘමි හා පළිබෝධ හානි අඩු නිසා ගස් වලට සාත්තු වියදම අඩු වීම මේ බෝගයේ මිල අඩු වෙන්න බලපාලා තියෙනවා."

"නිවැරදි වගා ක්‍රම අනුගමනය කරනවා නම් පාම් පැළ සිටුවලා අවුරුදු 3-4 ත් අතර කාලයකදී අස්වනු නෙළීම ආරම්භ කරන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු විස්සක් විතර එක දිගට ඵලදාව නෙලන්න පුළුවන්. මෙහිදී වෙනත් බෝග වගේ ඵල නෙලන්න ස්ථීර කාල සීමාවක් නැහැ. වර්ෂය පුරාම පාම් ගස් වලින් ඵල නෙලලා තෙල් නිපදවන්නට යවන්නට පුළුවන් වීම මෙහි ඇති තවත් වාසියක්." බව ඔහු පවසනවා.

2018 වර්ෂයේ ලෝකයේ පාම් ඔයිල් නිෂ්පාදනය ටොන් මිලියන 77ක් විදිහට සටහන් වෙනවා. ඒ වගේම 2024 වෙද්දී ලෝකයේ පාම් තෙල් අවශ්‍යතාවය ටොන් මිලියන 107ක් පමණ වන බවට මත පළවෙලා තියෙනවා.

මේ පාම් වගාව ගැන කතා කරද්දී ප්‍රබල වශයෙන්ම රටේම අවධානයට යොමු වුණු චෝදනාවක් තමයි මේ වගාවන් නිසා පාරිසරික ගැටළු බොහෝමයක් ඇති වී තිබෙන බව. මේක තවමත් ඉතාම විවාදාසම්පන්න මතයක්. එහෙත් පාම් තෙල් කියන්නේ වඩාත් කාර්යක්ෂම තෙල් වර්ගයක් නිසා සමස්තයක් විදිහට පාම් ඔයිල් කියන නිෂ්පාදනය වඩාත් වාසිදායක නිමැවුමක් ලෙස මැදහත් පිරිස් විසින් වර්තමානයේ දී සළකනවා.

අවසානයේදී අපි මේ කාරණය පිළිබඳවත් කර්මාන්තයේ නියැළෙන ගොවි මහතෙක් වශයෙන් කහඳපිටිය මහතාගෙන් විමසුවා. ඔහු ඒ සම්බන්ධයෙන් පළ කළේ මේ වගේ මතයක්.

" ඇත්තටම මම නම් විශ්වාස කරන විදිහට මේ රටේ මිනිස්සුන්ගේ හිත්වල අනවශ්‍ය බියක් මවලා පෙන්නන්නයි ඇතැම් සංවිධානාත්මක පිරිස් උත්සහ කරන්නේ. මම දැනුවත්ව අපේ ප්‍රදේශ වල නම් එහෙම කිසිම පාරිසරික ගැටලුවක් ඇති වෙලා නෑ අද වෙනකල්. විශේෂයෙන්ම අපි පාම් වගාවන් කරද්දී ඒ වගාවන් ගංඟා ආශ්‍රිතව ආරම්භ කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ අවට කුඹුක් ගස් හිටවලා පරිසරය ආරක්ෂා කරන්න කියලා අදාළ රාජ්‍ය ආයතන වලින් අපිට උපදෙස් ලැබෙනවා. ඒ නීතිය අනිවාර්යයෙන්ම අපි ක්රියාත්මක කරනවා විශාල කුඹුක් ගස් ප්‍රමාණයක් සිටුවමින්. ඉතින් මම රජයෙන් ඉල්ලා සිටින්නේ අපේ මේ වගාවන් නිසා ඇත්තටම පරිසරයට වෙන හානියක් තියෙනවා ද නැද්ද කියන කාරණය ගැන හරියට හොයලා බලලා අපිවත් දැනුම්වත් කරන්න කියලායි. එහෙම නැතුව විවිධ පිරිස් විසින් පතුරුවන අසත්‍ය ප්‍රචාර වලට රැවටිලා අපේ රටේ ගොවීන්ගේ ජීවිත නඟා සිටුවන, රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දෙන මේ තරම් වටිනා කියන වගාවක් කිරීම අත්හිටුවනවා නම් ඒක ලොකු අපරාධයක්. ඒ නිසා මේ ප්‍රශ්නයේ යථාර්ථය අවබෝධ කරගන්න කියලා මම අපෙ රටේ බුද්ධිමත් මිනිස්සුන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි".