මෙරට කුඩා පරිමාණ ඔයිල් පාම් වගාකරුවන් ශක්තිමත් කිරීමට ඉන්දුනීසියානු තානාපතිතුමියගේ සහයෝගය

ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් සහ, මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ලෙස පත් වූ දේවි ගුස්ටිනා ටොබින්ග් මැතිනිය අතර හමුවක් පසුගියදා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පාම් තෙල් කර්මාන්තයේ වර්තමාන භූමිකාව සහ එය මේ වනවිට මුහුණ දී ඇති ගැටලු මෙන්ම, කර්මාන්තය දියුණු කිරීම සඳහා ලොව විශාලතම පාම් තෙල් නිෂ්පාදකයා වන ඉන්දුනීසියාවෙන් ලබාගත හැකි සහයෝගය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවට, ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ සභාපති සහ ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පී.එල්.සී. හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ නියෝජිතයෝ පිරිසක් එක් වූහ. මෙම සාකච්ඡාව බෙහෙවින් ඵලදායී වූ අතර, ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ඔයිල් පාම් වගාකරුවන්ගෙන් ශක්තිමත් කිරීමේ අරමුණින් දෙරට අතර හවුල්කාරීත්වයක් ඇතිකිරීමේ කාර්යය සඳහා මැදිහත් වීමට තානාපතිතුමිය එකඟත්වය පළකළා ය.

කුඩා පරිමාණ වගාකරුවන් විසින් සිදුකරනු ලබන ඔයිල් පාම් වගාව ඔස්සේ රටේ ග්‍රාමීය ආර්ථිකයට සිදුවන යහපත මෙම සාකච්ඡාව තුළදී විශේෂ අවධානයට ලක්විය. ඉන්දුනීසියාවේ ඔයිල් පාම් වගාවෙන් 40% ක්ම සිදුකරනු ලබන්නේ කුඩා පරිමාණ වගාකරුවන් විසින් බවත්, එමගින් එරට ග්‍රාමීය මට්ටමේ සමාජ ආර්ථික සංවර්ධනය සුවිශාල දායකත්වයක් ලැබී ඇති බවත් මෙහිදී පෙන්වා දෙන ලදි. ශ්‍රී ලංකාව තුළද මෙම තත්ත්වය නිර්මාණය කිරීම මගින් රටේ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ආර්ථිකය නගාසිටුවීමටත්, ආහාරයට ගතහැකි තෙල් වර්ග ආනයනය කිරීම සඳහා වැයවන විදේශ විනිමය ප්‍රමාණය අවම කිරීමටත් හැකිවනු ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.

ඉන්දුනීසියාවේ තිරසාර ඔයිල් පාම් වැඩසටහනේ සාර්ථකත්වය මෙන්ම සමස්තයක් ලෙස තිරසාර අන්දමින් ඔයිල් පාම් වගාකිරීමේ ක්‍රමවේදයන් පිළිබඳවද දෙපාර්ශ්වය මෙහිදී සාකච්ඡා කළහ. ශ්‍රී ලංකාවද තිරසාර ලෙස ඔයිල් පාම් වගාව දියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර දැනටමත් ගෙන තිබේ. දැනටමත් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතරින් 11 ක් ළඟා කරගැනීමට ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් කර්මාන්තය සමත් වී ඇත. එමෙන්ම යහපත් සමාජ ආර්ථික සංවර්ධනයක් උදෙසා තිරසාර ඔයිල් පාම් කර්මාන්තය මගින් පුළුල් දායකත්වයක් ලැබෙන බවද මේ වනවිට පැහැදිලිව පෙනීගොස් තිබේ.

පාම් තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් ඉන්දුනීසියාව ළඟා කරගෙන ඇති ප්‍රගතිය දෙස බලන විට, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ ඇතුළුව සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ඔයිල් පාම් වගාව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදීමට එරටට හැකියාව ඇති බව පැහැදිලි ය. එම හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ලබමින් ශ්‍රී ලංකාවට වටිනා ආර්ථික හා සමාජයීය සංවර්ධන අවස්ථාවන් රාශියක් උදාකර දීමට ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමය සූදානමින් සිටී.