දේශීය කෘෂි කර්මාන්තය නැංවීමේ රජයේ වැඩපිළිවෙලට උපරිම සහාය ලබාදීමට දේශීය පාම් ඔයිල් කර් මාන්ත කරුවන් සූදානම්.

පාම් ඔයිල් කර් මාන්ත කරුවන්ගේ සංගමය (POIA) අවධාරණය කරයි
news

කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයට ඇතිවිය හැකි අනිසි බලපෑම අවම කරගැනීම සඳහා දේශීය කෘෂි කර්මාන්තය සහ ආනයන ආදේශන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට රජය සිදුකරන ඉතාමත් වැදගත් කාලීන වැඩපිළිවෙලට මෙරට පාම් ඔයිල් වගාකරුවන්ට ප්‍රායෝගික සහාය ලබාදිය හැකිබව එම අංශයේ මෙරට සාමාජිකයින් නියෝජනය කරන ඉහළම කර්මාන්ත කරුවන්ගේ සංගමය අවධාරණය කරයි.

මෙරට පාම් ඔයිල් වගාකරුවන්, පිරිපහදුකරුවන්, සැකසුම්කරුවන්, අලෙවිකරුවන් සහ වෙළෙඳුන් මෙන්ම පාම් ඔයිල් ආශ්‍රිත අනිකුත් නිෂ්පාදන සිදුකරන නිෂ්පාදකයින් නියෝජනය කරන පාම් ඔයිල් කර්මාන්ත කරුවන්ගේ සංගමය (POIA) නිවේදනයක් නිකුත් කරමින් ආනයනික පාම් ඔයිල් මත රජය පනවා ඇති විශේෂ වෙළෙඳ බද්ද (special commodity levy) නිසා නිෂ්පාදන ක්‍ෂේත්‍ර කිහිපයකට සිදුවී ඇති බලපෑම දේශීය පාම් ඔයිල් කර්මාන්තය තුළින් අවම කළ හැකි බව ප්‍රකාශ කර ඇත.

මෙම සංගමය පෙන්වාදෙන්නේ ඉතාමත් දැඩි පාරිසරික නියාමන නීති රීති වලට යටත්ව මේ වනවිට ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් හෙක්ටයාර් 9000 ක් පමණ වගාකර පවත්වාගෙන යන අතර මෙරට වැවිලි සමාගම් වලට එවැනිම නියාමන වලට යටත්ව ඔයිල් පාම් හෙක්ටයාර් 20,000 ක් දක්වා වගා කිරීමට රජය විසින් අවසර ලබාදී තිබෙන බවයි.

කෙසේවෙතත්, තමන්ට වාසිදායක න්‍යාය පත්‍රයන් මත පිහිටි ඇතැම් පිරිස් මෙම වගාව අනුමත සීමාව දක්වා පුළුල් කරනවාට පසුගිය කාලයේදී පදනම් විරහිතව විරෝධය එල්ල කරන ලදී. මේ නිසා, රජයෙන් අනුමත කරන ලද සීමාව දක්වා ඔයිල් පාම් වගාව පුළුල් කිරීම ප්‍රමාද විය. මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට වසරකට පිරිපහදු නොකළ පාම් ඔයිල් මෙට්රික් ටොන් 240,000 ක් පමණ ආනයන කරන අතර මෙරට නිෂ්පාදනය කරන පාම් ඔයිල් ප්‍රමාණය මෙට්රික් ටොන් 23,000 ක් තරම් සුළු ප්‍රමාණයක් වන බව පාම් ඔයිල් කර් මාන්ත කරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

‘ආනයනික පාම් ඔයිල් සඳහා විශේෂ වෙළෙඳ බද්ද වැඩිකිරීම නිසා රසකැවිලි නිෂ්පාදන ඇතුළු ඇතැම් අංශවල පිරිවැය වැඩිවී තිබෙන බව සඳහන් කර තිබෙනවා,’ යනුවෙන් පාම් ඔයිල් කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ‘ආනයනික පාම් ඔයිල්වල මිල වැඩිවීම නිසා තමන්ට මාසයකට රුපියල් මිලියන 100 ක පමණ පාඩුවක් සිදුවනු ඇතැයි රසකැවිලි නිෂ්පාදකයින් පවසා තිබෙනවා.’

‘මෙසේ මෙම බද්ද වැඩි කිරීමට පාදක වුණු ආර්ථිකයට හේතු අප විසින් අවබෝධ කරන අතරම දේශීය පාම් ඔයිල් කර් මාන්තයට රජයේ සහයෝගය දැක්වීමට මෙය කදිම අවස්ථාවක් යැයි පැහැදිලි වනවා. මන්දයත් දේශීය කෘෂිකර්මය තුළින් ස්වයංපෝෂිත වීම සඳහා රජයේ වැඩසටහනට එමගින් අනුබලය ලැබෙන නිසයි. දේශීය පාම් ඔයිල් කර්මාන්තය නිසා දැනටමත් සැලකිය යුතු ප්‍රමාණයක විදේශ විනිමය ඉතිරි කරගත හැකිවී තිබෙන අතර එම කර්මාන්තයේ ව්‍යාප්තිය තුළින් එම ඉතිරිය ඉදිරියේදී තවත් වර්ධනය කර ගැනීමට හැකිවනවා.’

ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ දේශීය පාම් ඔයිල් කර් මාන්ත කරුවන්ට මෙරට සම්පූර්ණ පාම් ඔයිල් අවශ්‍යතාවය සපුරාලීමට දැනට නොහැකි නමුත් සමාගම් මගින් සැලසුම් කර ඇති ආයෝජන තුළින් මධ්‍යම කාලීනව ආනයන ආදේශනය තුළින් රටට විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට පදනම දැමිය හැකි බවයි.

මෙරට පාම් ඔයිල් කර්මාන්තය තුළ මේ වනවිට 13,000 ක පමණ පිරිසක් රැකියා කරන අතර ඔවුන් වගාවන්, පිරිපහදුකිරීම සහ නිෂ්පාදන අංශ තුළ සේවය කරයි. මෙහිදී, ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා අනාවරණය කළේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව නැවතත් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමේ වැදගත්කම අනුව යමින් මේ වනවිට පාම් ඔයිල් කර් මාන්තයේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන බවත් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් සේවක සාමාජිකයින් බේරාගැනීම සඳහා නිර්දේශ කර තිබෙන සෑම සෞඛ්‍යය සහ ආරක්ෂණ පියවරක්ම කර්මාන්තකරුවන් විසින් නිවැරදිව ගෙන තිබෙන බවයි.

‘මීට දශක කිහිපයකට පෙර ලෝකයේ ඇතැම් රටවල තිබූ තත්ත්වයන් පදනම් කරගනිමින් තමන්ට වාසිදායක න්‍යාය පත්‍රයන් මත පිහිටි ඇතැම් පිරිස් පසුගිය කාලයේ මෙරට ඔයිල් පාම් වගාවට විරුද්ධවීම ඉතාමත් කණගාටුදායකයි. ශ්‍රී ලංකාව තුළ ඔයිල් පාම් වගාව ආරම්භ කර වසර 50 ක පමණ කාලයක් ගතවී තිබෙන නමුත් මෙරට වගාකර තිබෙන්නේ ඔයිල් පාම් හෙක්ටයාර් 9000 ක් පමණයි. අවසානයේදී ශ්‍රී ලංකාව තුළ ඔයිල් පාම් හෙක්ටයාර් 20,000 ක් වගා කළ ද ඒ සඳහා වෙන්වන භූමි ප්‍රමාණය මේ වනවිට මෙරට තේ, රබර් සහ පොල් වැවිලි බෝග වගාකර තිබෙන භූමියෙන් 2.5% ක භූමි ප්‍රමාණයක් පමණ වනවා,’ යැයි ද ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.

‘පරිසරයට හානියක් නොවන අයුරින් කැලෑ විනාශ නොකර, ආර්ථික වශයෙන් වාසි සහගත බෝග ඉවත් නොකර දැඩි කොන්දේසි සහ මාර් ගෝපදේශන යටතේ තිරසාර ලෙස මෙරට ඔයිල් පාම් වගාව සිදුකිරීමට ඉඩ ලබාදීමේ රජයේ උත්සාහයටද මෙම පිරිස් විරුද්ධවීම ගැන අපි පුදුමයට පත් වෙනවා,’ යනුවෙන් ද ඒ මහතා සඳහන් කළේය.