ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා වැවිලි කර්මාන්තයේ කාර්යභාරය පිළිබඳව විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක්!

ජාතික අලෙවි කළමනාකරණ ආයතනයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා වැවිලි කර්මාන්තයේ කාර්යභාරය’ යන මැයෙන් විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් පසුගියදා සංවිධානය කරන ලදි. එම ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වූ ආචාර්ය ඩෑන් සීවරත්නම් මහතා එහි ප්‍රධාන දේශකයා වූ අතර, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ රොෂාන් රාජදුරෙයි මහතාද එහි සාකච්ඡා මණ්ඩලයට එක් විය. සම්මන්ත්‍රණයේ බාහිර සම්පත් දායකයා ලෙස එක්වූයේ රුහුණ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා ය. මීට අමතරව, ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක සිරිවර්ධන සහ එහි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රසාද් ධර්මසේන යන මහත්වරුද මීට එක්වූහ. ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති යජිත් ද සිල්වා මහතා විසින් සම්මන්ත්‍රණය මෙහෙවයන ලදි.

සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමින් ආචාර්ය සීවරත්නම් මහතා මෙසේ පැවසී ය. “දැනට පවතින වැවිලි කර්මාන්ත ආකෘතිය ඵලදායී නැහැ. අතීතයේ ජීවත් වෙමින් අනාගතයට ගැළපෙන ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකියි. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ තේ වලට ඉතා හොඳ පිළිගැනීමක් තිබුණා. එහෙත් එම තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් යනවා. ලංකා තේ යනු ඉහළ ගුණාත්මකභාවකින් යුත් නිෂ්පාදනයක් බව ඔප්පු කිරීම හැර කර්මාන්තයට දැන් වෙනත් විකල්පයක් නැහැ. උසස් තත්ත්වයේ තේ නිෂ්පාදනයට තේ කර්මාන්තශාලා හිමියන් දිරිගැන්විය යුතුයි. අනාගත ආර්ථික අභියෝග වලට මුහුණ දීමට රටට හැකියාව ලැබෙන්නේ එවිටයි.”

එමෙන්ම විදේශ විනිමය හිඟය සහ පොහොර තහනම ආදිය නිසා කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වූ බව පෙන්වා දුන් සීවරත්නම් මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ තේ සහ අනෙකුත් නිෂ්පාදන සඳහා නව අපනයන වෙළඳපොළවල් සොයාගත යුතු බවයි. එහෙත් එලෙස නව වෙළඳපොළවල් හඳුනා ගැනීම සඳහා මෙතෙක් කිසිදු සාමූහික උත්සාහයක් දරා නොමැති නිසා වටිනා අවස්ථාවක් අහිමි වී ඇති බවද ඒ මහතා පැවසී ය.

“නොවැම්බර් මාසයේදී 17% ක් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී 22% ක් දක්වා ඉහළ ගියා. බලධාරීන් නිසි පියවර ගන්නා තුරු මෙය දිගින් දිගටම ඉහළ යා හැකියි. සුවිශේෂී දක්ෂතා සහිත කෘෂි ශ්‍රමිකයන් සහ ගොවීන් අපට සිටිනවා. එහෙත් අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා ඔවුන්ගේ වගා කටයුතු වලට අවශ්‍ය පොහොර හෝ කෘෂි රසායන ද්‍රව්‍ය නැහැ.” ආචාර්ය සීවරත්නම් පැවසී ය.

ආචාර්ය රාජදුරෙයි මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ මෙරට වතු කම්කරුවන්, විශේෂයෙන්ම තරුණ ප්රජාව වතු ආශ්රිත ඔවුන්ගේ සේවයට සරිලන උපරිම වටිනාකම හෝ ගෞරවය නොලැබීම නිසා වෙනත් රැකියා සඳහා යොමුවීමේ ප්රවණතාවයක් දක්වන බවයි. “වැවිලි ආර්ථිකය වර්ධනය කිරීමට නම් අපනයන නිෂ්පාදන වැඩි කළ යුතු වනවා. බලධාරීන් වැවිලි සමාගම්වලට කිසිදු බාධාවකින් තොරව බෝග මාරුව සිදුකිරීමට සහ අදාළ දේශගුණය තත්ත්වයන්ට ගැළපෙන බෝග වගා කිරීමට අවස්ථාව සලසා දිය යුතුයි. එමගින් කෘෂි ක්ෂේත්‍රය වඩාත් ඵලදායී වී, රටේ ආර්ථිකයට ඉන් ලැබෙන දායකත්වයත් පුළුල් වේවි. ඒ ඔස්සේ වතු කම්කරුවන් මුහුණ දෙන දුෂ්කරතා අවම කරමින්, ඔවුන් දිරිගැන්වීමටත් පුළුවන්.” ආචාර්ය රාජදුරෙයි මහතා තවදුරටත් පැවසී ය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පෙන්වා දුන්නේ, ප්‍රතිපත්ති සම්පාදකයන් නම්‍යශීලී වී වැවිලි කර්මාන්තයට අවශ්‍ය සහයෝගය ලබාදෙන්නේ නම්, නිෂ්පාදනය වැඩි කරගනිමින්, රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩිකර ගැනීමට හැකි වනු ඇති බවයි. වැවිලි හා කෘෂි කර්මාන්ත ක්ෂේත්‍ර තුළ විවිධාංගීකරණයේ වැදගත්කම පෙන්වා දුන් ඒ මහතා, දේශීය හා විදේශීය ඉල්ලුම සපුරාලන නව බෝග වර්ග වගා කිරීමට යොමුවිය යුතු බවද අවධාරණය කළේ ය. එමෙන්ම අඩු ඵලදායීතාවක්, අස්වැන්නක් සහ ලාභයක් ගෙනෙන බෝග වර්ග වලින් ඉවත් වී, ඒ වෙනුවට ඔයිල් පාම් සහ උක් වැනි බෝග වර්ග මෙන්ම ගම්මිරිස්, වැනිලා සහ කොකෝවා වැනි භෝග වර්ග වගා කිරීමේ වැදගත්කමද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

සම්මන්ත්‍රණය අවසානයේදී විද්වත් මණ්ඩලයෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවක් ද හිමිවිය. ශ්‍රී ලංකාවේ කෘෂි හා වැවිලි කර්මාන්තයන් දියුණු කරමින්, රටේ ආර්ථිකයට එමගින් ලැබෙන දායකත්වය පුළුල් කිරීම සඳහා ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමට, ජාතික අලෙවි කළමනාකරණ ආයතනයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය බලාපොරොත්තු වෙයි.