ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයෙන් නිවේදනයක්!

රටේ පවතින තත්ත්වය හමුවේ රජය මුහුණපා සිටින ආර්ථික අභියෝග ජයගැනීම උදෙසා සහය වීමට පාම් තෙල් කර්මාන්තය සූදානම්


ශ්‍රී ලංකාවේ පාම් තෙල් කර්මාන්තය සාපේක්ෂව කුඩා වන නමුත්, මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදීමේ හැකියාව එය සතු ය. ඔයිල් පාම් යනු ලොව වඩාත්ම ඵලදායී සහ ලාභදායී භෝග අතරින් එකකි. ලොව පුරා මිලියන ගණනකගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට එම කර්මාන්තය සුවිශාල කාර්යභාරයක් ඉටුකරයි. පාම් තෙල් යනු ලොව වැඩියෙන්ම නිෂ්පාදනය වන, පරිභෝජනය වන සහ අලෙවි වන, ආහාරයට ගත හැකි තෙල් වර්ගය ලෙස සැලකේ. ලොව ආහාරයට ගත හැකි තෙල් වර්ග වෙළඳපොළෙන් 33% කටම හිමිකම් කීමට පාම් තෙල් සමත් වී ඇත. මීට සාපේක්ෂව සූරියකාන්ත තෙල් සහ පොල්තෙල් වැනි තෙල් වර්ග වලට වෙළඳපොළ තුළ හිමි වී ඇත්තේ ඉතා සුළු ප්‍රතිශතයන් පමණි.

පාම් තෙල් ප්‍රධාන වශයෙන් අංශ දෙකකින් ආර්ථිකයට ශක්තියක් වෙයි. එක් අතකින් එය ආහාරයට ගත හැකි තෙල් වර්ග ආනයනය කිරීමේ අවශ්‍යතාව අවම කරන අතර, අනෙක් අතින් රටක ජනතාවට නව ආර්ථික අවස්ථාවන් උදාකර දෙයි. පාම් තෙල් කර්මාන්තයේ මෙතෙක් භාවිතයට නොගත් ප්‍රයෝජන, ඇතැම් විට ශ්‍රී ලංකාවට අනාගතයේදී පාම් තෙල් අපනයනය කරන රටක් බවට පත්වීමට වුවද අවස්ථාව තිබේ. ආහාරයට ගත හැකි තෙල් වර්ග නිෂ්පාදනය කිරීමට භාවිතා කරන අනෙකුත් භෝග වලට සාපේක්ෂව ඵලදායීත්වය අක්කරයකට සිව් ගුණයක් පමණක් වන නිසා මෙම ඉලක්කය ළඟා කරගැනීම දුෂ්කර නැත.

එමෙන්ම පාම් තෙල් වල ඉහළ ඵලදායීතාව සහ අධික ඉල්ලුම හේතුවෙන් පාම් තෙල් කර්මාන්තයේ නියුතු පිරිස් තේ, පොල් සහ රබර් වතු කර්මාන්තවල නියුතු වතු සේවකයන්ට සාපේක්ෂව දෙගුණයක් පමණ ආදායම් උපයති. එමෙන්ම ඔයිල් පාම් කර්මාන්තය පරිසර හිතකාමී සහ මුළුමනින්ම තිරසාර වන අතර, ලංකාවේ ඒ වෙනුවෙන් යොදාගැනෙන්නේ මීට පෙර වගාකරන ලද ඉඩම් මිස ස්වභාවික වනාන්තර නොවේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ පාම් තෙල් කර්මාන්තය වසර ගණනාවක් තිස්සේ සාවද්‍ය චෝදනා වල ගොදුරක් බවට පත්වී තිබේ. මෙම චෝදනා වලින් බහුතරයක් අදාළ වන්නේ, පාලනයකින් තොරව ඔයිල් පාම් වගා කිරීම නිසා පරිසර පද්ධති වලට හානි සිදු වූ වෙනත් රටවල් කිහිපයක් සඳහා පමණි. ශ්‍රී ලංකාව තුළ එබඳු අවදානමක් නොපවතින අතර, මෙරට ඔයිල් පාම් වගාව සිදු වූ පසුගිය වසර 50 ක කාලය තුළ කිසි විටකත් එබඳු තත්ත්වයක් වාර්තා වී නොමැත.

ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව සිදුකෙරෙනුයේ හෙක්ටයාර 12,000 කට අඩු භූමි ප්‍රමාණයක වන අතර, මහා පරිමාණ වතුවල පමණක් එය වගා කෙරේ. මීට සාපේක්ෂව, මහා පරිමාණ පාම් තෙල් නිෂ්පාදකයෙකු වන මැලේසියාවේ හෙක්ටයාර 6,000,000 ක ඔයිල් පාම් වගාකෙරෙන අතර, ඒ අතරින් 40% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිදුකරනු ලබන්නේ සුළු පරිමාණ වගාකරුවන් විසිනි. මේ ආකාරයට ඔයිල් පාම් වගාකිරීම මගින්, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල ග්‍රාමීය ආර්ථිකයන් තුළ විශාල පිබිදීමක් ඇතිවී ඇති අතර, එය මිලියන ගණනක ජනතාවකට දරිද්‍රතාවෙන් මිදී සෞභාග්‍යමත් අනාගතයක් වෙත පියනැගීමට මහෝපකාරී වී තිබේ. මේ අනුව බලන විට, ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් කර්මාන්තයේ සීමාවන් ලිහිල් කිරීම මගින්, ඔයිල් පාම් වගාව සඳහා කුඩා වතු හිමියන් සිදුකරන ආයෝජන ඉහළ යනු ඇති අතර, කුඩා වතු හිමියන් ඔයිල් පාම් වගාවට යොමුවීම මගින් ආර්ථිකය සවිබල ගන්වමින් ග්‍රාමීය සංවර්ධනය සඳහා නව අවස්ථා රාශියක් නිර්මාණය වනු ඇත. එමෙන්ම දේශීය පාම් ඔයිල් කර්මාන්තය ශක්තිමත් කිරීම තුළින්, ආනයනය කරනු ලබන තෙල් වර්ග සඳහා වැයවන විදේශ විනිමය අවම කර ගැනීමටත්, ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමටත් අපට හැකි වනු නිසැක ය.

ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමය මේ වනවිට ලොව අනෙකුත් ප්‍රමුඛ පෙළේ පාම් තෙල් නිෂ්පාදකයන් සමගද සම්බන්ධතා ගොඩනංවාගෙන ඇති අතර, මෙම මිත්‍ර රටවල් කර්මාන්තය ඉදිරියට ගෙන යාම සඳහා විශේෂඥ සහ තාක්‍ෂණික දැනුම ඔස්සේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානමින් සහ කැමැත්තෙන් සිටී. කෙසේ වුවද, ඔයිල් පාම් වගාව තහනම් කිරීම සඳහා නිසි අධ්යනයකින් තොරව ගනුලැබූ තීරණය හේතුවෙන්, මෙම තීරණාත්මක සන්ධිස්ථානයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගාසිටුවීම සඳහා උපරිම දායකත්වයක් ලබා දීමට අප සංගමයට නොහැකි වී තිබේ. එම නිසා, අපගේ කර්මාන්තයට එරෙහිව ක්‍රියාත්මක වන තහනම සහ අනෙකුත් අයහපත් ප්‍රතිපත්ති ඉවත් කර, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම රජයේ මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන අරමුණු ඉටුකර ගැනීමට අත්වැලක් වීමට අපට අවස්ථාව ලබාදෙන මෙන් අපි ඉමහත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු. අපගේ කර්මාන්තය වගකීම් සහගත, තිරසාර, හා පරිසර හිතකාමී කර්මාන්තයක් වන අතර එය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය පමණක් නොව කෘෂි භෝග අපනයන අංශය පවා පරිවර්තනයකට ලක්කිරීමේ හැකියාව සහිත කර්මාන්තයකි. එමෙන්ම එමගින් අපට ආහාරයට ගත හැකි තෙල් වර්ග ආනයනය කිරීමට ඇති අවශ්‍යතාව අවම වනු ඇත.

ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලාංකිකයන් වර්තමානයේ මුහුණ දී සිටින අභියෝග ජය ගැනීමට උපකාර කිරීමට හැකියාව ඇති මේ සුවිශේෂී කර්මාන්තය තවදුරටත් යටපත් කිරීම වගකීම් විරහිත, අසාධාරණ හා සම්පූර්ණයෙන්ම අනවශ්‍ය ක්‍රියාවක් බව අපි විශ්වාස කරමු. එම නිසා අපි අදාළ බලධාරීන්ගෙන් තරයේ ඉල්ලා සිටින්නේ, අප සැමදාමත් කැමැත්තෙන් සිටි ආකාරයට, අපගේ වගකීම ඉටුකිරීමට අපට ඉඩ දෙන ලෙසයි.