අපේ රටේ ආබාධිත රණවිරුවන් ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ වගාකරුවන් 2,500ක් පමණ මේ වන විට ඔයිල් පාම් වගාවේ නිරත ව සිටිති. ඔයිල් පාම් වගාව පිළිබඳ ඇති මිථ්‍යා මත නිසා රටක් ලෙස අප විශාල පාඩුවක් අත්විඳිමින් සිටින අතර, ලෝකයේ බොහෝ රටවල් සිය නිෂ්පාදන ආර්ථිකය සඳහා ඔයිල් පාම් ගසෙන් ලබා ගන්නා, පාම් ඔයිල් යොදා ගනී. අපේ රටෙත් ඇතැම් නිෂ්පාදන සමාගම් පාම් ඔයිල්, පිටරටින් ආනයනය කර, සබන්, ටූත් පේස්ට්, බිස්කට්, කිරිපිටි ආදිය නිෂ්පාදනය සඳහා පාම් ඔයිල් යොදා ගන්නේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් වශයෙනි.
මෙම ගස් නිසා වතුර හිඳී යනවා යැයි පවතින මිථ්‍යා මතය පුස්සක් බවට පත්කරමින් අවුරුදු 30කට වැඩි වයසක් ඇති ඔයිල් පාම් වගාවන් කළුතර දිස්ත්‍රික්කයේ තිබෙන අතර, එම වතුවල ගස්ලබු, ඉඟුරු, කුරුඳු, කොකෝවා වැනි යටි වගාවන් ඉතා සාර්ථකව සිදු කෙරෙන බවත්, ඔයිල් පාම් ගසක් සිටුවා වසර හතරේ පටන් 40 දක්වා පලදාව ලබා ගත හැකි බවත් පවසා සිටියි.
තහනමට විද්‍යාත්මක පදනමක් නැහැ. පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පාම් තෙල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ පස් වැනි මහා සභා රැස්වීම පැවැත්වූයේ මෙවැනි පසුබිමක ය.
එහි දී එම සංගමයේ සභාපති ආචාර්ය රොහාන් ප්‍රනාන්දු අවධාරණය කළේ, විද්‍යාත්මක පදනමක් නොමැතිව තහනමට ලක්කරන ලද ඔයිල් පාම් කර්මාන්තය නැවත ස්ථාපිත කරන ලෙසයි. ඔයිල් පාම් සඳහා ගෝලීය වෙළෙඳපොළේ ඇති ඉහළ ඉල්ලුම මෙන්ම මෙම කර්මාන්තය ලෝකයේ ක්‍රියාත්මක වන ආකාරය හා එය ජාතික ආර්ථික ඉලක්ක ජය ගැනීමට කොතෙක් දුරට දායක වේ දැයි ඔහු පෙන්වා දුන්නේ ය.
“ඔයිල් පාම් වගාව නිසා රටක් ලෙස ආනයනික තෙල් මත යැපීම අඩු කරන අතර වගාව, තෙල් නිෂ්පාදනය සහ බෙදාහැරීම හරහා රැකියා උත්පාදනය වනවා. කුඩා පරිමාණ වගාකරුවන් වෙත මෙම භෝගය හඳුන්වා දීමෙන් ඉන්දියාව, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි රටවල් මෙන් දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීම සහ අපනයන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමට අවස්ථාව හිමි වනවා.”
ඔයිල් පාම් හෙවත් කටුපොල් තහනම නැවත සලකා බැලීමට නව රජයේ ජනාධිපතිතුමාගේ මැදිහත් වීම අප දැඩිව අපේක්ෂා කරනවා. මොකද, පසුගිය රජයන් මෙම තහනම සිදු කළේ, විද්‍යාත්මක පදනමක් නැති “අසත්‍ය සංකල්පිත තාවකාලික තීරණයක්” ලෙසින් වන නිසා. එම තහනම කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් මත පදනම් නොවූ තීරණයක් වගේම, මුළුමනින් ම පුද්ගලික වාසි වෙනුවෙන් පුද්ගලයන් කිහිප දෙනකුගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ගනු ලැබූ වැරැදි තීරණයක්. ඔවුන් කඩිමුඩියේ තහනම පැනවීමට පෙර අවම වශයෙන් ප්‍රවීණයන්ගේ උපදෙස් සමඟ ප්‍රශ්නය හොඳින් පරීක්ෂා කර බැලිය යුතුව තිබුණා.
ලොව ඉහළම තෙල් අස්වැන්නක් ලබා දෙන ඔයිල් පාම් ලෝක ඉල්ලුමෙන් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් සපුරාලන බවට විද්‍යාත්මක සාක්ෂි තිබියදීත්, තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය තවමත් තීරණයක් නොගැනීම කනගාටුයි…”
විදේශ විනිමය උපයන ප්‍රධාන අපනයන නිෂ්පාදනයක්
පාම් ඔයිල් ආනයනය සහ දේශීය ඔයිල් පාම් වගාව 2018 වසරේ මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාවක් උපුටා දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 අප්‍රේල් මාසයේ දී තහනම් කළේය. වසර 10කින් වගාව ක්‍රමානුකූලව නතර කිරීමට නියමිතව තිබුණි.
පාම් ඔයිල් ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා වන බේකරි සහ රසකැවිලි නිෂ්පාදකයන්ගේ හදිසි ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් එම වසරේම බලපත්‍රලාභී ආනයනයට පාම් තෙල් ආනයනය කිරීමට අවසර දීමට සිදු විය. පාම් ඔයිල් යනු, බටහිර න්‍යාය පත්‍රයක් නිසා අපකීර්තියට පත් වූ වටිනා සම්පතක් බවත් පාම් ඔයිල් බටහිර බෝගයක් වූයේ නම්, එය මෙතරම් පරීක්ෂාවකට ලක් වන්නේ නැති බව බවත්, සම්මානලාභී ඉන්දියානු ව්‍යාපාරික නායක ශ්‍රී අතුල් චතුර්වේදි පැවසූයේ මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැති පාම් ඔයිල් පිළිබඳ සමුළුවකදී ය.
එහි වටිනාකම දන්නා අග්‍රාමාත්‍ය මෝදිගේ නායකත්වයෙන් ඔයිල් පාම් කඩිනමින් ව්‍යාප්ත කිරීමේ වැඩසටහන් සඳහා ඉන්දියාව කටයුතු කරමින් සිටින අතර, ඉන්දුනීසියාව මෙන්ම, මැලේසියාව ද මේ වන විට සිය විදේශ විනිමය උපයන ප්‍රධාන අපනයන නිෂ්පාදනය බවට ඔයිල් පාම් පත් කරගෙන තිබේ.
මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ඉන්දුනීසියානු තානාපති Dewi Gustina Tobiny පවසා සිටියේ, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි පාම් ඔයිල් නිෂ්පාදනය කරන රටවල් මෙම ක්ෂේත්‍රයේ වඩාත් ශක්තිමත් හවුල්කාරීත්වයක් ගොඩනැඟීමට දරන ප්‍රයත්නය පිළිබඳ සතුටට පත් වන බවයි. එසේම, ඉන්දුනීසියානු ආර්ථිකය තවමත් නොවැටී පැවතිය හැකි තත්ත්වයක් උදා කරගෙන තිබෙන්නේ බොහෝ දුරට පාම් ඔයිල් කර්මාන්තය නිසා බවයි.
පාම් ඔයිල් බහුකාර්ය සම්පතක්
සාර්ව ආර්ථික දත්ත අනුව පෙන්නුම් කරන්නේ ඉන්දුනීසියානු ඔයිල් පාම් වගාවන්හි නිමැවුම් අගය 2000දී IDR ට්‍රිලියන 5 ( හෙවත් USD මිලියන 322,5 ) සිට 2023 දී IDR ට්‍රිලියන 367 (USD බිලියන 23,7) දක්වා සාපේක්ෂව වේගයෙන් වර්ධනය වූ බවයි. එමෙන්ම මේද කර්මාන්තය ද IDR ට්‍රිලියන 48 (USD බිලියන 3) සිට නිෂ්පාදනයේ වැඩි වීමක් දක්නට ලැබිණි.
මේ අනුව, පාම් ඔයිල් කර්මාන්තයට එකතු වූ මුළු වටිනාකම IDR ට්‍රිලියන 23 සිට IDR ට්‍රිලියන 510 දක්වා වැඩිවී තිබේ. පාම් ඔයිල් යනු, බොහෝ නිෂ්පාදන සඳහා යොදා ගන්නා බහුකාර්ය සම්පතකි. ශ්‍රී ලංකාව ඔයිල් පාම් වගාවට සුදුසුම දේශගුණයක් ඇති රටක් නිසා ඉන් අත්කර ගත හැකි ප්‍රතිලාභ සුවිසාල ය.
බරපතළම කාරණය වන්නේ රට තුළ වගාව තහනම් කර, ඩොලර් මිලියන ගණනින් විදේශ විනිමය වැය කොට එම නිෂ්පාදනය ම යළි පිට රටින් ගෙන්වීමේ සැඟවුණු ඛේදවාචකයයි.