හොඳ පොල්තෙල් ටිකක් වෙළෙඳපොළේ සොයාගැනීම කළුනික හොයනවා වැනිය. ඒ තරමට බාල පොල්තෙල් වෙළෙඳපොළ ආක්‍රමණය කර තිබේ. මේ කතාව මුළු රටක් අද මුහුණදී ඇති බරපතළම ඛේදවාචකයකි. ‘පොල්තෙල්’ කියා විකුණන ආනයනික බාල තෙල් ඒ තරමටම ජනතාවට විවිධ ලෙඩ රෝග සාදන්නකි. ඒවා බොහෝවිට මිලෙන් අඩු වුවද පරිභෝජනය කිරීමේදී ජනතාවට වැළඳෙන ලෙඩ රෝග වැඩිය. විදේශයන්හි හෝටල් ආශ්‍රිතව වරක් පාවිච්චි කරන ලද තෙල් වර්ග මෙරටට ආනයනය කොට ඒවා තනි වශයෙන් හෝ පොල්තෙල්වලට කලවම් කොට විකිණීම මෙරට සිදුවන මාෆියාවකි.
මේ ආකාරයේ පොල්තෙල් මාෆියාවන් රට තුළ සිදුවන්නේ මෙරට පොල්තෙල් අවශ්‍යතාවය මෙරට තුළින්ම නිපදවාගත නොහැකි තත්ත්වයක් තිබීමය. මෙරට ආහාර හා සෙසු නිෂ්පාදන සඳහා තෙල් අවශ්‍යතාවයෙන් 79%ක් සපුරන්නේ ආනයනික තෙල් මගින් ය. ඉතිරියෙන් 11%ක් දේශීය පාම් ඔයිල් ය. 10%ක් දේශීය පොල්තෙල් මගින් ය. එයට හේතුව දේශීය පොල් මිල ඉහළ යෑම හා පොල් අස්වැන්න පහත වැටීමත් ඉල්ලුමට අනුව සැපයුම ලබාදීමට නොහැකි වීමය.
අපේ රටට ආනයනික පොල්තෙල්, එළවළු තෙල් එන්නට ගන්නේ මෙන්න මේ කරුණු නිසාය. ආහාරයට ගන්නා විවිධ තෙල් වර්ග අතර ‘හොඳ තෙල් හෙවීම’ පෙර කී පරිදි කළුනික හොයනවා තරම් අමාරු කීවේ ඒ නිසාය. මේ කාරණා සියල්ලටම උත්තරයක් හැටියට කටුපොල් නැත්නම් පාම් තෙල් සොයාගනු ලැබුවේ අදක ඊයෙක නොවේ ය. ඒ කටු පොල් වගාව මෙරට ප්‍රචලිත කර එමගින් නිපදවන පාම් තෙල් මගින් රටේ අවශ්‍යතාවය සැපිරීමය. ඒත් අවාසනාවක මහත දැන් ඒ පාම් තෙල් කර්මාන්තය තිබෙන්නේ අනතුරකය. එයට හේතුව දැනට වසර හතක සිට මෙරට කටු පොල් වගාව ගැසට් පත්‍රයක් මගින්ම තහනම් කර තිබීමය.
මෙරට කටු පොල් තහනම ක්‍රියාත්මක කරන්නේ 2021 අප්‍රේල් 05 වැනිදාය. ඒ 2222/13 අති විශේෂ ගැසට් පත්‍රය මගින්ය. මේ තහනමත් සමග එකී වගාව ආශ්‍රිතව පවුල් විශාල ප්‍රමාණයක් ආර්ථික ගැටලු රැසකට මුහුණ පෑ බව සැබෑවකි. කොටින්ම රටට විශාල විදේශ විනිමයක් උපයා දෙන අපනයන භෝගයක් ලෙස දියුණු කළ හැකි කටු පොල් වගාවට කනකොකා හඬන්නේ ද මෙරටට එළවළු තෙල් ආනයනය කරන සමාගම්කරුවන් හා එකල ජනපතිවරයාට ළංවී සිටි එක්තරා මෝඩ පණ්ඩිතයන් දුන් වැරදි උපදෙස් මත එක්වරම තහනම ක්‍රියාත්මක කළ නිසාය.
කටු පොල් නැත්නම් පාම් තෙල් ගැන විවිධ මත මතවාද විවේචනයන් එල්ල වන්නේ එම වගාවේ ආරම්භයත් සමගමය. එය එදා සිට මේ දක්වාම නොඅඩුව පවතින්නකි. කටු පොල් ගැන අප සමාජයේ මුල් බැසගෙන ඇති කතන්දර දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ කටුපොල් වගාව ලංකාවට යෝග්‍ය නොවන බවය. අනෙක කටුපොල් වගාව ලංකාවට යෝග්‍ය වගාවක් බවය. මෙසේ දෝලනය වන මත දෙකක් අතර තවමත් හිර වුණ ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයන් වන අප කරන්නේ පාම් තෙල්වලට වඩා ආනයනික එළවළු තෙල් හොඳයි කියා රටේ මුදල් වැයකොට ‘විශ්වාසය තහවුරු කළ නොහැකි තෙල්’ ගෙනත් කා ලෙඩ වීමය.
මේ ආකාරයෙන් පදනම් විරහිත ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකාවට අහිමි වන මහඟු සම්පත් බොහෝය. කටුපොල් වගාවද එසේ වූවකි. ලෝකයම ඔයිල් පාම් (කටු පොල් වගාව) වැනි ඵලදායී සහ ආර්ථික වශයෙන් වැදගත් භෝග වගා කර තම ආර්ථිකයන් ශක්තිමත් කරගැනීමට උත්සාහ දරමින් සිටියදී අප හිතාමතාම ඔයිල් පාම් වගාව සහ එමගින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ අහිමි කරගනිමින් සිටීම ඇත්තය.
පොල්තෙල් නිෂ්පාදනයට යොදා ගන්නා පොල් මිල ඉහළ යෑම හේතුවෙන් පොල් තෙල් කර්මාන්තයේ ඉල්ලුමට සැපයුම ලබාදීමට නොහැකි වීමත් සමග ආනයනික පාම් තෙල් මෙරටට පැමිණියේය. තවද ආහාර සඳහා පාම් තෙල්වලට ඇති අඛණ්ඩ ඉල්ලුම ද පාම් තෙල් ආනයනය ඉහළ යෑමට හේතුවකි. 2024 වසරේදී මෙරටට ආනයනය කළ ආහාරයට ගත හැකි තෙල් සහ මේද ප්‍රමාණය මෙට්‍රික් ටොන් 212,128කි. එය 2025 වසරේ මෙට්‍රික් ටොන් 280,567ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සමස්තයක් හැටියට මෙරට පාම් තෙල් සහ පොල්තෙල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 70,000 පමණකි. 2024 වසරේ පාම් තෙල් නිෂ්පාදනය තිබුණේ මෙට්‍රික් ටොන් 34,708ක් ලෙසය. එය 2025 වසරේ මෙට්‍රික් ටොන් 38,210 දක්වා ඉහළ ගොස් තිබිණි. දේශීය පොල් තෙල් නිෂ්පාදනය 2024 වසරේ පැවැතියේ මෙට්‍රික් ටොන් 30,842ක් ලෙසය. එය 2025 වසර වනවිට මෙට්‍රික් ටොන් 33,696ක් දක්වා ඉහළ ගොස් තිබේ. පොල් සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කරන ලද නවතම වාර්ෂික දත්ත වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 2025 වසරේදී මෙරටට තෙල් සහ මේද ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 140,022ක වියදමක් දරා තිබේ. තවද 2025 වසරේදී මෙරටට පොල්තෙල් ආනයනය කර ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 33,696කි.
පාම් තෙල් යනු හුදෙක් ඉවුම් පිහුම්වලට පමණක් නොව, මාජරින්, බිස්කට්, රසකැවිලි, බේකරි නිෂ්පාදන ආදිය සඳහා මෙන්ම ආහාර නොවන නිෂ්පාදන වර්ග රැසක් සඳහා ද භාවිත කළ හැකි තෙල්ය. ශ්‍රී ලංකාවේ වාර්ෂික එළවළු තෙල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 250,000ක් පමණ වන නමුත් මෙරට තුළ වසරකට නිෂ්පාදනය කෙරෙනුයේ එළවළු තෙල් මෙට්‍රික් ටොන් 50,000ක පමණ ප්‍රමාණයකි.
මේ නිසා ශ්‍රී ලංකාවට එළවළු තෙල් ආනයනය සඳහා විශාල වශයෙන් විදේශ විනිමය වැයකිරීමට සිදු වී තිබේ. රටේ එළවළු තෙල් ඉල්ලුම දේශීය නිෂ්පාදනවලින් සපුරාගත හැකි නම්, වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 27ත් 44ත් අතර ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකිවනු ඇතැයි ගණන් බලා තිබුණි. එහෙත් අවාසනාවකට, එළවළු තෙල් අතරින් වැඩිම ඵලදාවක් ලබාදෙන භෝගය වන ඔයිල් පාම් සම්බන්ධයෙන් මෙරට ජනතාවට නිවැරදි අවබෝධයක් නොමැත. කිසිදු සොයාබැලීමකින් තොරව, පාම් තෙල් සම්බන්ධ මිථ්‍යාවන් විශ්වාස කිරීමට ජනතාව පෙළඹී සිටිති.
පසුගිය 2021 වසරේ එවක රජය එතෙක් කටු පොල් වගාව සම්බන්ධව පැවති ප්‍රතිපත්ති වෙනස් කරමින් කටු පොල් වගා කිරීම පමණක් නොව එතෙක් පැවති කටුපොල් වගාවෙන් 10%ක් පවා ක්‍රමයෙන් ඉවත් කිරීමට ද කටයුතු යොදා තිබුණි. එහෙත් එකී තීරණයට පරිසර අධිකාරිය මගින් ලබා දුන් වාර්තාව හා පරිසරවේදීන් හා වෙනත් පාර්ශ්ව මගින් මෙම වගාවට එරෙහිව ගෙන යනු ලැබූ ප්‍රචාරක කටයුතු ද බලපා තිබුණද ඒවායේ හුදෙක් විද්‍යාත්මක පදනමක් හා ප්‍රමිතියක් නොතිබූ බව දැන් පැහැදිලිය.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති ගෝඨාභයගේ රසායනික පොහොර තහනමට නොදෙවෙනි වූ මේ කටු පොල් තහනමද “අන්ධභූත” ක්‍රියාවකි. එකල මේ කටු පොල් තහනම ක්‍රියාත්මක වන්නේ කටුපොල් වගාව තුළින් පරිසරයේ ජෛව විවිධත්වයට බරපතළ හානිවීම, භූගත ජලයේ අඩුවීම, ජලය දූෂණය වීම, ජල උල්පත් සිඳී යෑම හා එකී වගාවන් ආශ්‍රිත පාරිසරික තුලනය බිඳ වැටීම නිසා සත්ව හා ශාක ප්‍රජාවේ පැවැත්මට අනර්ථකාරී ලෙස බලපෑමත්, පාම් තෙල් ජනතාවගේ ශරීර සෞඛ්‍යයට අහිතකර වේ යන කිසිදු විද්‍යාත්මක හා ප්‍රමිතියකින් සනාථ කළ නොහැකි කතා කිහිපයක් නිසාය.
මේ සියල්ල ‘හිතලු පමණක්’ බව අපට පෙනී යන්නට වූයේ පසුගිය දිනක දකුණු පළාතේ ඔයිල් පාම් වගාව සහ පරිසරය පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක නිරතවීමෙන් පසුවය.
ඒ නාකියාදෙණිය සහ හෝමදොල කටුපොල් වතු යායන්හි අප නිරත වූ සංචාරයකදීය. 1968 වසරේදී ගාල්ල නාකියාදෙණිය වතුයාය හෙක්ටයාර 20ක භූමි භාගයකින් කටුපොල් වගාව ආරම්භ වූවකි. එදා සිට එම වතු වල කටු පොල් වගාව ව්‍යාප්ත කර තිබුණේ ලංකාවේ නීතිය පමණක් නොව ජාත්‍යන්තර පරිසර නීති පද්ධතිය ගැනද සැලකිලිමත් වෙමින්ය.
ඒ පිළිබඳව අපට කියන්නට ඇති හොඳම කතාව නම් ජාත්‍යන්තරය පිළිගත් RSPO සහතිකය දකුණු ආසියාවෙන්ම ලබාගත් එකම වැවිලි සමාගම එය වීමය. එම සහතිකය මේ වැවිලි සමාගමට හිමිවන්නේ වැවිලි සමාගමක් හැටියට පාරිසරික වගකීම, මානව හිමිකම් සුරැකීම, කම්කරු සුභසාධනය, සදාචාරාත්මක ව්‍යාපාරික පිළිවෙත්, නිෂ්පාදන මූලාශ්‍ර හඳුනා ගැනීමේ හැකියාව, අඛණ්ඩ වර්ධනය සහ සංවර්ධනය යන සාධක මුල් කරගනිමින්ය.
එහෙත් සමාජය තුළ කටු පොල් ගැන පොදු සංවාදයක් ගොඩනැඟී ඇත්තේ ඔයිල් පාම් වගාව යනු වගා බිම් තුළ ද්විතීක ශාක වර්ධනය විය නොහැකි, සරුසාර බිම් නිසරු මුඩුබිම් බවට පත් කරන, වගාව ආසන්නයේ ඇති ජල මූලාශ්‍ර සිඳී යෑමට සලස්වන සහ ජෛව විවිධත්වය විනාශ කරන වගාවක් ලෙසය. එහෙත් ඒ සියලු මතවාද ‘පුස්සක්’ බවට පත් කරන්නට තරම් අද නාකියාදෙණිය සහ හෝමදොළ වතු යායන් සමත් වී තිබේ.
වගා කරන ලද පාම් ගස් යට සැලකිය යුතු බිම් ආවරණ ශාක සහ යටි රෝපණ මනාව වර්ධනය වී තිබේ. කටු පොල් ශාකයේ පත්‍ර නිසා සෘජු වර්ෂාපතනයෙන් පස ආරක්ෂා වී පස සේදී යෑම සහ මතුපිට ජල ගැලීම් අඩුකර එහි තෙතමනය රඳවා ගැනීම කොතරම් දුරට සාර්ථකද යන්න මනාව පෙනී යන්නකි.
කටු පොල් භෝගයට අමතරව හොඳින් වැඩුණු කුරුඳු, එක යායට වැවුණු තේ ගස්ද මේ වතු යායට එක්කරන්නේ මනා අලංකාරයක් හා වාණිජ වටිනාකමකි. වගා ක්ෂේත්‍රයේ බිම් ආවරණ කළමනාකරණය, කපන ලද පාම් අතු ක්‍රමවත්ව තැන්පත් කිරීම තුළින් පසට කාබනික ද්‍රව්‍ය නැවත එකතු කිරීමේ ක්‍රියාවලිය, වගා බිමේ භූමි ලක්ෂණවලට අනුරූප වන පරිදි පසේ ජල සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම කැපී පෙනෙන්නකි.
එපමණක් නොව වතු යායට මායිම්ව පිහිටි පිරිසිදු ජල මූලාශ්‍ර බොහෝය. එය දුටු අපට හැඟී ගියේ ඔයිල් පාම් වගාවේ බලපෑම මගින් අවට ළිං හා ඇළ දොළ ඉබේම සිඳී යන බවට පැතිර යැවූ කට කතාව හුදු ප්‍රලාපයක් බවය.
කටු පොල් වගාව තුළින් පාරිසරික වටිනාකමට අබමල් රේණුවකවත් හානියක් නොවන බව කීමට තවත් සාක්ෂියක් නාකියාදෙණිය වතුයායේ ඉතිරිව ඇත්තේය. ඒ ගිං ගඟ ද්‍රෝණියෙන් වාර්තා වූ ශ්‍රී ලංකාවට ආවේණික මිරිදිය මත්ස්‍ය විශේෂයක් වන Schistura scripta (Sri Lankan Mountain Loach) හෙවත් නාකියාදෙණිය අහිරාවා නාකියාදෙණිය කටු පොල් වගාව ආශ්‍රිතව පිහිටි ජල මූලාශ්‍රයක ජීවත්වීමය.
මෙයින් පෙනී යන්නේ වගා කරන ලද භූමි තුළ පිහිටි ඇළ දොළ, ජලාශ්‍රිත ආරක්ෂිත කලාප සහ ඒ හා සම්බන්ධ ස්වාභාවික වාසස්ථාන ආරක්ෂා කිරීමේ වැදගත්කමට ද කටු පොල් වගාවෙන් තර්ජනයක් නොවී ඇති බවය. එහි ස්වාභාවික ජල මාර්ග සහ ජලාශ්‍රිත ප්‍රදේශ ආරක්ෂා වී, ජලජ ජීවීන්, පක්ෂීන්, කෘමීන් සහ අනෙකුත් සතුන්ගේ පැවැත්මට උපකාරී වන ශාක ආවරණයක් සහ සත්වයන්ට වාසස්ථාන පද්ධතියක්ද මේ කටු පොල් වගාව තුළ බිහි වී තිබීමද ඇත්තකි.
තවද කටු පොල් වගාව ආශ්‍රිතව අද වන විට බිහිව ඇති රැකියා සංඛ්‍යාවද අති විශාලය. නාකියාදෙණිය හා හෝමදොළ වතු යායන් ආශ්‍රිතව පමණක් වතු සේවකයන් හා අනෙකුත් පරිපාලන නිලධාරීන්ගේ සංඛ්‍යාව 1,600කටත් අධිකය. එහි සේවකයන්ට ලබා දෙන ඉහළ වැටුප්, ප්‍රසාද දීමනා, වෛද්‍යාධාර ආදියද බොහෝ සිත් ගන්නා සුළුය.
කොටින්ම කටු පොල් අස්වැන්න නෙළන කම්කරුවකුගේ දෙලක්ෂයකට ආසන්න වැටුප නිසා ඔවුන් රජයට ආදායම් බදු ගෙවන අවස්ථාද අපට දැන ගන්නට ලැබුණි. එපමණක් ද නොව, කටු පොල් වගාවෙන් පාම් තෙල් හැරුණු කොට රා ලබාගන්නා ආකාරයද අප හා එහි ගිය රබර් වගාව පිළිබඳ පර්යේෂකයකු වන මහාචාර්ය අශෝක නුගවෙල මහතා අපට පෙන්වා දුන්නේය.
ඔයිල් පාම් වගාකිරීම වාසිදායක දෙයක් බව සනාථ කිරීමට මෙතරම් සාක්ෂි තිබියදී පවා, පසුගිය රජයන් එම කර්මාන්තයට සහාය දීම ප්‍රතික්ෂේප කිරීම පමණක් නොව, එහි වර්ධනය හා ක්‍රියාකාරීත්වය සක්‍රීයව අවහිර කිරීමට පවා කටයුතු කිරීම සැබැවින්ම කනගාටුදායක ය.
ගෝලීය වශයෙන් සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵල මගින් ඔයිල් පාම් වගාව අහිතකර නොවන බව පෙනී ගොස් තිබියදීත්, කිසිදු විධිමත් අධ්‍යයනයකින් හෝ පර්යේෂණයකින් තොරව, සැඟවුණු න්‍යාය පත්‍ර ඇති බවට නිසැකව කිව හැකි ක්‍රියාකාරීන් කණ්ඩායම් අතළොස්සක් සතුටු කිරීම සඳහා පසුගිය රජයන් මෙම පියවර ගෙන තිබුණේය.
මේ වන විට ලංකා වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමය ඇතුළුව විවිධ සංවිධාන ඔයිල් පාම් තහනම නැවත සලකා බලන මෙන් වත්මන් රජයට ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. ඔයිල් පාම් වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි වීම සහ රටට විදේශ විනිමය ගෙන ඒම හා ඉතිරි කිරීමත්, ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථිකය නංවාලීමට එයට ඇති හැකියාව අප ඉහත කී කරුණු තුළින් මනාව පෙනී යන්නකි.
ඒ අනුව අවසානයට යමක් කියන්නට තිබේ. ඒ පසුගිය 2021 වසරේදී පැන වූ කටු පොල් තහනම නිසා මේ වන විට නාකියාදෙණිය හෝමදොළ වතු යායන් ආශ්‍රිතව පමණක් නොව, රටේ සෙසු තැන්වලද කටු පොල් වගාව ලක්ව ඇත්තේ තර්ජනයකටය.
මේ තහනම නිසා නාකියාදෙණිය වතුයායේ මේ වන විට වසර තිහකටත් වැඩි කටු පොල් ගස් ඇත්තේ ඒවා ගලවා නැවත වගාකර ගත නොහැකි පසුබිමකය. ඒ නිසා එම වතු සමාගම් ලබන පාඩුවද බොහෝය. තවද මෙරට තුළ පාම් තෙල් නිපදවා ගැනීමට නොහැකි වීමෙන් පාම් තෙල් ආනයනයට පිටරටට ගලා යන විදේශ විනිමය ද අති විශාලය.
අවසානයේ අපට කියන්නට ඇත්තේ ද කිසිදු පරිසර හානියක් නොමැති මේ වගාවෙන් රට ගොඩදාගත හැකිනම් මේ වන විට රබර් ඇතුළු වැසී යන වතු ආශ්‍රිත සේවකයන්ගේ රැකියා ද මේ වගාව තුළින් සුරක්ෂිත වේ නම්, වත්මන් රජයවත් කටු පොල් තහනම ඉවත් කිරීමේ වරද කුමක්ද යන්නය. රට ආර්ථික අතින් ගොඩ ඒමට උත්සාහ ගන්නා අවස්ථාවකදී කටු පොල් වගාව පිළිබඳව වගකිවයුත්තන්ට සත්‍ය හඬ ගා කීමද වරදක් නොවන බව අප මතක් කර සිටිමු.