දකුණේ තෙල් පාම් (Oil Palm) වගාවේ මිථ්‍යාව හා සත්‍යය

මිථ්‍යාවන්ගෙන් සත්‍ය තොරතුරු වෙන්කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව POIA අවධාරණය කරයි
Published on 21 August 2026
දකුණු පළාතේ තෙල් පාම් වගාව
දකුණු පළාතේ තෙල් පාම් වගා ප්‍රදේශයක පාරිසරික සහ භූමි කළමනාකරණය

ගාල්ල (2026 අගෝස්තු 06): ශ්‍රී ලංකා පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ (POIA) නියෝජිතයන් විසින් දකුණු පළාතේ තෙල් පාම් (Oil Palm) වගා ප්‍රදේශයන්හි සංවිධානය කරන ලද ක්ෂේත්‍ර චාරිකාවකදී, මෙම වගාව සම්බන්ධයෙන් පවතින දීර්ඝකාලීන දුර්මත සහ සැබෑ පාරිසරික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කෙරිණි.

තෙල් පාම් වගාව යනු බිම් නිසරු කරන, ජල මූලාශ්‍ර සිඳී යාමට සලස්වන සහ ජෛව විවිධත්වය විනාශ කරන වගාවක් ලෙස පොදුවේ හඳුන්වනු ලැබුව ද, දකුණු පළාතෙන් නිරීක්ෂණය වූයේ ඊට වඩා යහපත් පාරිසරික තත්ත්වයකි.

පාරිසරික සහ ජල කළමනාකරණය

වගාබිම් තුළ සැලකිය යුතු ලෙස බිම් ආවරණ ශාක සහ යටි රෝපණ වර්ධනය වී තිබූ අතර, සුදුසු අන්තර්වගා ද දැකගත හැකි විය. නිසි ලෙස කළමනාකරණය කළ විට මෙම ශාක ආවරණය මගින් පස් සේදී යාම සහ මතුපිට ජල ගැලීම් පාලනය වන අතර, පසෙහි තෙතමනය ද රැකදෙයි. තවද, කපන ලද පාම් අතු ක්‍රමවත්ව තැන්පත් කිරීමෙන් පසට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය එකතු වන බව ද නිරීක්ෂණය විය.

වගා ප්‍රදේශ තුළ සහ ඊට මායිම්ව සශ්‍රීක, පිරිසිදු ජල මූලාශ්‍ර පවතින බවත්, ප්‍රදේශවාසීන් සිය ගෘහස්ථ අවශ්‍යතා සඳහා තවදුරටත් එම ජලය භාවිත කරන බවත් තහවුරු විය. එමගින් වගාව නිසා ජල මූලාශ්‍ර සිඳී යන බවට වන මතය අභියෝගයට ලක්වේ. කෙසේ වෙතත්, ස්වාභාවික ජලාපවහන පද්ධති සහ ජල මාර්ග දෙපස පිහිටි ආරක්ෂිත කලාප (buffer zones) සුරැකීමත්, පොහොර භාවිතය ප්‍රවේශමෙන් පාලනය කිරීමත් අත්‍යවශ්‍ය වේ.

ජෛව විවිධත්වය සහ දේශීය තත්ත්වය

නාකියාදෙණිය සහ හෝමදොළ වතුයායන්හි සිදු කළ පර්යේෂණවලදී ගිං ගඟ ද්‍රෝණියෙන් වාර්තා වන, ශ්‍රී ලංකාවට ආවේණික මිරිදිය මත්ස්‍ය විශේෂයක් වන ‘නාකියාදෙණිය අහිරාවා’ (Schistura scripta) විද්‍යාත්මකව හඳුනා ගැනීමට හැකිවිය. මින් තහවුරු වන්නේ මෙම වගාබිම් ආශ්‍රිතව තවදුරටත් පාරිසරික වටිනාකමක් මෙන්ම ජලජ ජීවීන්, පක්ෂීන් සහ කෘමීන්ගේ පැවැත්මට සුදුසු වාසස්ථාන පද්ධතියක් පවතින බවයි. විදේශීය රටවල මෙන් මහා පරිමාණ නොඉඳුල් වනාන්තර හෙළිපෙහෙළි කිරීමක් ශ්‍රී ලංකාවේ සිදු නොවන බැවින්, ජාත්‍යන්තර චෝදනා සෘජුවම දේශීය තත්ත්වයට ආරෝපණය කළ නොහැකිය. ඉහළ ඒකක ඵලදායිතාවක් සහිත මෙම වගාව, නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් දේශීය තෙල් ඉල්ලුම සපුරා ගැනීමට විශාල පිටිවහලක් ලැබේ.

විද්‍යාත්මක ඇගයීමේ අවශ්‍යතාව

POIA හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී යජිත් ද සිල්වා සඳහන් කළේ, පොදු මතයන් මත පිහිටා නිගමනවලට එළඹෙනවා වෙනුවට විද්‍යාත්මක සාක්ෂි සහ සැබෑ භූමි කළමනාකරණ ක්‍රමවේද පදනම් කරගත් පාරිසරික ඇගයීමක් සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි. තෙල් පාම් වගාව පිළිබඳ තීරණ ගැනීමේදී මිථ්‍යාවන්ට නොරැවටී, විශ්වසනීය දත්ත සහ විද්‍යාත්මක ඇගයීම් මත පදනම් වන ලෙස සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටියි.