ඔයිල් පාම් වගාව තහනම් කිරීම පිළිබඳව ඉක්මන් කතිකාවක් කර්මාන්ත කරුවන් රජයෙන් ඉල්ලයි

තවාන්වල මේ වනවිටත් තිබෙන පැල වගා කිරීමට අවසර ලබාදෙන ලෙසට ඉල්ලීමක්


ජනාධිපති තුමා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ පාම් ඔයිල් කර්මාන්තයට අදාළව ගත් තීරණ වලට ගරු කරන අතරම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි අවධියේදී 2014 වසරේදී කැබිනට් තීරණයකට අනුව මෙරටට ආනයනය කළ මේ වනවිටත් පැල තවාන්වල මෝරමින් තිබෙන ඔයිල් පාම් පැල වගා කිරීමට ප‍්‍රායෝගික විසඳුමක් රජය විසින් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බව පාම් ඔයිල් කර්මාන්ත කරුවන්ගේ සංගමය (POIA) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

‘ඔයිල් පාම් වගාව හෙක්ටයාර් 20,000 ක් දක්වා වැඩිකිරීමේ එකළ රජයේ තීන්දුවට ප‍්‍රතිචාර දක්වමින් වතු සමාගම් සිදුකළ විශාල ආයෝජනය පිළිබඳව සලකා බලන්නැයි අපි ජනාධිපතිතුමාට සහ නව රජයට ආයාචනා කරනවා. මේ නිසා, මේ වනවිට පැල තවාන්වල මෝරමින් තිබෙන මෙම ඔයිල් පාම් පැල විශේෂ මාර්ගෝපදේශයන් යටතේ වගාකිරීමට අවසර ලබාදීමට මැදිහත් වන්නැයි අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා,’ යනුවෙන් එම සංගමය සඳහන් කරයි.

ඔයිල් පාම් වගා කිරීම තහනම් කිරීමට පසුගිය 20 වනදා රජය ගත් තීන්දුවට හේතුවූ කරුණු පිළිබඳව කර්මාන්ත කරුවන්ට අදහස් දැක්වීමට අවස්ථාව ලබා නොදෙමින් එම තහනම ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම නිවේදනයෙන් පාම් ඔයිල් කර්මාන්ත කරුවන්ගේ සංගමය සිය කණස්සල්ල පළකර තිබේ.

‘ශ‍්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාවට එරෙහි ප‍්‍රවර්ධනයන් බොරුව, අර්ධ සත්‍යය, වැරදි අර්ථකතනයන් සහ උසි ගැන්වීම් මත පදනම් වී තිබෙනවා. මේ නිසා, ශ‍්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව ගැඹුරු අධ්‍යනයකින් තොරව ඔයිල් පාම් වගා කිරීම නතර කිරීමට රජය නිවේදනය කිරීම ගැන අපි පුදුම වුණා. ඉතාමත් දැඩි නියාමනයන්ට යටත්ව සීමිත වශයෙන් මෙරට ඔයිල් පාම් වගාකිරීමට මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දැරූ රජය විසින් හොඳින් සිතා බලා ගත් තීන්දුව මේ තුළින් ඉවත් වී තිබෙනවා,’ යනුවෙන් සංගමය වැඩිදුරටත් පවසයි.

‘ශ‍්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව සිදුකරන්නේ අනිකුත් රටවල සිදුකරන සමහර වැරදි ක‍්‍රම භාවිතා කරමින් නොවෙයි. වෙනත් රටවල සිදුවූ වැරදි වලින් ඉගෙන ගත් පාඩම් කි‍්‍රයාත්මක කරමින් වසර 50 ක් පුරා මෙරට ඔයිල් පාම් වගාව සිදුකර තිබෙනවා. ශ‍්‍රී ලංකාව තුළ ඔයිල් පාම් වගාව සිදුකිරීමේදී කැලෑ විනාශ කරන්නේ නෑ. ඒ වගේම, ශ‍්‍රී ලංකාව තුළ මෙම වගාව කිරීමේදී වන සතුන්ට, පරිසරයට, කාලගුණයට අහිතකර බලපෑමක් සිදුවන්නේ නෑ,’ යනුවෙන් මෙම නිවේදනයේ දැක්වේ. ‘එසේම, මෙම වගාව දශක ගණනාවක් සිදුකර තිබෙන දකුණු පළාතේ ප‍්‍රදේශ වලට ලැබෙන වර්ෂාපතනය වැඩිවී තිබෙනවා. එසේම, ඔයිල් පාම් ශාඛ මගින් අපිරිසිදු වායුවේ තිබෙන කාබන් වැඩිපුර ප‍්‍රමාණයක් උරා ගන්නා බව සොයාගෙන තිබෙනවා,’ යැයි එම ප‍්‍රකාශණය පෙන්වා දෙයි.

මෙම වගාවෙන් ලැබෙන ප‍්‍රතිලාභ පිළිබඳව සලකා බැලීමෙන් පසුව ඔයිල් පාම් හෙක්ටයාර් මිලියනයක් වැවීමට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා විසින් මෑතකදී ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බවද මෙම නිවේදනයෙන් පෙන්වා දී ඇත.

‘පොල් වගාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා ඔයිල් පාම් වගාව තහනම් කරන බව රජයෙන් කරන ඇඟවීම අපිට ප්‍රෙහේළිකාවක් වී තිබෙනවා. වැවිලි බෝග විවිධාංගීකරණය කිරීමට වැවිලි අංශය සෑම විටම කටයුතු කර තිබෙනවා. එක් බෝගයක් වර්ධනය කිරීමට වෙනත් බෝගයක් තහනම් කළ යුතු නැහැ,’ යනුවෙන් පාම් ඔයිල් කර්මාන්ත කරුවන්ගේ සංගමයේ නිවේදනයේ සඳහන් වේ. එසේම, ඔයිල් පාම් හෙක්ටයාර් 20,000 ක් දක්වා වගාව පුළුල් කිරීමට මීට පෙර රජය විසින් ගත් තීන්දුව පොල් වගාව පුළුල් කිරීමට කිසිදු බාධාවක් නොවන බවත් මේ වනවිටත් මෙරට හෙක්ටයාර් 450,000 ක පොල් වගාකර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

‘ඔයිල් පාම් වගාව හෙක්ටයාර් 20,000 ක් දක්වා වර්ධනය කිරීමත් පොල් වගාව පුළුල් කිරීමත් අතර කිසිදු ගැටුමක් අපි දකින්නේ නෑ,’ යනුවෙන් සංගමය සඳහන් කර ඇත. ‘කෙසේවෙතත්, ආහාර සඳහා මෙරටට අවශ්‍ය තෙල් ප‍්‍රමාණය දේශීය පොල් නිෂ්පාදනයෙන් සපුරා ගැනීමට රජය බලාපොරොත්තු වෙනවා නම් එම තත්ත්වයට පත්වීමට මෙරටට වසර 20 ක් හෝ එයටත් වඩා වැඩි කාලයක් ගත වෙනවා. මෙම කාල පරාසය තුල, ආහාර සඳහා අවශ්‍ය තෙල් විශාල වශයෙන් ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමට සිදුවන අතර ඒ සඳහා දැනටමත් ආසන්න වශයෙන් වාර්ෂිකව රුපියල් බිලියන 22 ක් පමණ වැය කිරීමට සිදුව තිබෙනවා.’

‘මේ නිසා, මෙරට ඔයිල් පාම් වගාවට එරෙහිව පදනම් විරහිතව පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් එල්ල කර තිබෙන චෝදනාවන්ට පිළිතුරු ලබාදීමට කර්මාන්ත කරුවන්ට අවස්ථාවක් ලබාදෙමින් මෙම තහනම පිළිබඳව යළි සලකා බලන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා,’ යනුවෙන් පාම් ඔයිල් කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති ආචාර්ය රොහාන් ප‍්‍රනාන්දු මහතා පවසයි. ‘රජයේ පෙර තීන්දුව මත නිරෝධායන අනුමැතිය ඇතිව මෙරටට ගෙන්වූ ඔයිල් පාම් පැල 356,000 කට ආසන්න ප‍්‍රමාණයක් මේ වනවිටත් වසර තුනකටත් වැඩි කාලයක් තවාන්වල මෝරමින් තිබෙන නිසා ඉක්මන් තීන්දුවක් නොගතහොත් ඉදිරියේදී මේවා විනාශ කරන්න සිදුවනවා. එසේ වුවහොත් ඉදිරි මාස දෙකක කාලය තුළදී මෙරට වැවිලි සමාගම් වලට සමස්තයක් ලෙස රුපියල් මිලියන 500 කට වැඩි අලාභයක් සිදුවෙනවා.’

පාම් ඔයිල් කර්මාන්ත සංගමයට වගාකරුවන්, පිරිපහදුකරුවන්, සැකසුම්කරුවන්, නිෂ්පාදකයින්, අලෙවිකරණ සමාගම් සහ පාම් ඔයිල් සහ අනිකුත් ඔයිල් පාම් නිෂ්පාදන අලෙවි සමාගම් ඇතුළත් වන අතර මෙම සමාගම් සමස්තයක් ලෙස මෙම කර්මාන්තයට රුපියල් බිලියන 26 ක පමණ ආයෝජනයක් සිදුකර තිබේ. ශ‍්‍රී ලංකාවේ මේ වනවිට වගාකර තිබෙන්නේ ඔයිල් පාම් හෙක්ටයාර් 11,000 කටත් අඩු ප‍්‍රමාණයක් වන අතර එය මෙරට තේ, රබර් සහ පොල් වගාකළ භූමි ප‍්‍රමාණය සමග සසඳනවිට එම ඉඩම් ප‍්‍රමාණයෙන් 1% කට මඳක් වැඩි භූමි ප‍්‍රමාණයක් පමණි. රජයේ නිර්දේශයන්ට අනුව කැලෑ එළිපෙහෙලි කිරීමකින් තොරව ඉතාමත් දැඩි මාර්ගෝපදේශයන්ට සහ නියාමනයන්ට යටත්ව මෙරට ඔයිල් පාම් වගාව හෙක්ටයාර් 20,000 ක් දක්වා පුළුල් කිරීමේ අවසරය මීට පෙර ලබාදී තිබේ.